මහරහතුන් වැඩි මග ඔස්‌සේ
.jpg)
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
130 කොටස
සංස්‌කාර නම් මැජික්‌කාරයා දැකගන්න
භික්‌ෂුව පිණ්‌ඩපාතයේ වඩින කැලෑ මාර්ගයේ, අඩිපාර, කොළ අතු වැටිලා අපවිත්‍ර වෙලයි තිබුණේ, ගමේ පිංවත් මහත්මයෙක්, ඊයේ සවස එම අඩිපාර හොඳින් අතුගාල පිරිසිදු කරලා තිබුණා. මහාසංඝරත්නය අරමුණුකොට, මං මාවත් පිරිසිඳු කිරීමේ පිනෙන්, මහත්මයාට, සුවපහසු මටසිලිටු, බුමුතුරුණු පළස් ඇතිරිලි, සැපවත් යාන වාහන සහිත මහේශාදී සැපසම්පත් ලැබේවා කියලා, භික්‌ෂුව එම මහත්මයාට පිං අනුමෝදන් කළා. යම් පිංවතෙක් මහා සංඝරත්නය අරමුණු කොට, මංමාවත් පිරිසිදු කරනවා නම්, ඉහත ආනිශංශයන් ලැබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසාම ශ්‍රාවකයින් වන, අපිත් එම සම්පත් ලැබේවා කියලා, ගිහි පිංවතුන්ලාට ආශිර්වාද කරනවා. මෙවැනි ආශිර්වාද කිරීම් හේතුවෙන් ගිහි පිංවතුන්ලා තුළ, කුසලය, කෙරෙහි තව තවත් ඡන්දය ඇතිවෙනවා. අපි පිංවතුන්ලාට එවැනි සශ්‍රීක ජීවිත ප්‍රාර්ථනා කළත්, වර්තමාන සමාජයේ, පෙර පින නිසාම, මේ ජීවිතයේදී, සශ්‍රීක මහේශාඛ්‍ය ජීවිත ගතකරන, ආයුෂ, වර්ණ, සැපය, බලය, සහිත ජීවිත ගතකරන, පිංවතුන්ගේ සැපයන් කෙරෙහි, ද්වේශයෙන්, වෛරයෙන්, කටයුතු කරන පිරිස්, සිටින බව සමාජයේ සිදුවන ක්‍රියාකාරකම් තුළින් විද්‍යමාන වෙනවා. මෙය පිනට කරන අභියෝගයක් වෙනවා.සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර ශාක්‍යවංශයේ උපත ලබන්නේ, රම්‍ය, සුරම්‍ය, සුභ මාළිගාවල කුමාර සැප සම්පත් වින්දේ කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක් නිසා. අනුරුද්ධ මහරහතන්වහන්සේ ගිහි කුමාර අවධියේ, තම සිටු මන්දිරයේ සිට, ඇල් සහල් අනුභව කරනවා. නමුත් මේ ඇල්සහල් ලැබෙන්නේ කොහොමද කියලා, අනුරුද්ධ කුමාරයා දැනගෙන සිටියේ නැහැ. මෙවන් මහේශාඛ්‍ය ජීවිත මේ අය ලැබුවේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. විශාඛා සිටු දියණියට ලක්‍ෂ ගණනක් වටිනා, මහාමේලපලඳනාව තෑගි ලැබෙන්නේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් නිසා. අනේපිඩු සිටුතුමාට ජේත උයන, රන්කාසි වලින් අහුරන්න තරම්, ධනයක් ලැබුණේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසා. මේවා සමාජ අසාධාරණයන් නිසා සිදුවෙච්ච දේවල් නොවේ. නමුත් සම්මා දිට්‌ඨියේ අර්ථයන් නොදන්නා, මිථ්‍යාදෘෂ්ඨික පිංවතුන්. මේ උතුම් කුසල් ශක්‌තිය, නොවැදගත් මිථ්‍යාදෘෂ්ඨික මතවාද තුළින් විවේචනයට ලක්‌කරනවා. අනුන්ගේ සැපය, සගී්‍රකභාවය, වත්පොහොසත්කම් දකිනකොට ද්වේශය ඇතිකොට ගන්නවා. ඇයි ඔහුට ලැබුණේ?, ඇයි මට නොලැබුණේ? කියලා. ධර්මානුකූලව ගලපා, දකින්න දක්‍ෂ නැහැ. දුප්පත්කම, දරිද්‍රතාවය, ආණ්‌ඩු පෙරළිවලින් ජය ගන්න, උත්සාහගන්න පිංවතුන්, පන්සලකට, පිංකම්පොලකට නොයා, පෙළපාලියට යනවා. පෙළපාලි ගිය මනුෂ්‍යයෝ පසුකලක, රටේ ප්‍රභූන් බවට පත්වෙන්නේ, අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන් නිසාමයි. මෙතනදි පින ඔබට, විසඳලා දෙන්නේ, හේතුඵල ධර්මයකැයි, එම පිංවතාට, පන්සලට පිංකම්පොලට යන්න, සිත දෙන්නේ නැතුව, ඔහුට පෙළපාලියට යන්න කැමැත්ත ඇතිවෙන්නේ, ඔහු තුළ සැඟවි ඇති, එහෙත් ඔහු නොදන්නා, අතීත කුසල් සංස්‌කාරයන්ට, විපාකදීමට මාර්ගය මතුකොට දීමටයි. පෙර ජීවිතයේ ඔහු ශිල්පද ආරක්‌ෂාකොටගෙන, මහා සංඝරත්නය අරමුණුකොටගෙන හවුලේ දන් පූජාකරගෙන ශක්‌තිමත් පිංකම් කරගෙන තිබුණත්, ඔහු ගිය ජීවිතයේ, මැරෙන වේලාවේ සකස්‌වුණ අවසාන චුති සිතට, අරමුණු වෙන්නේ දුර්වල කුසල් සිතක්. අවසාන චුති සිතට අරමුණු වුණු දුර්වල කුසල් චිත්තය හේතුවෙන්, ඔහු මේ ජීවිතයේදී, එම දුර්වල කුසල් චිත්තයට අදාළව සාමාන්‍ය පවුලක, ගොවි පවුලක උපත ලබනවා. නමුත් ඔහු සතුව, යටපත්වී ගිය බලවත් කුසල් ශක්‌තියත් ඇති නිසා, ඔහුගේ කැමැත්ත, පන්සලට, පිංකමට, නොව, පෙළපාලි යන්නට යොමුවෙනවා.
මෙතනදී යොමුවිම කියන කාරණය, විඥනය වශයෙන් පිංවත් ඔබ ගතයුතුයි. අවසානයේ සාමාන්‍ය පවුලක ඉපදී, පන්සලට, පිංකමට, වඩා පෙළපාලි යන්න යොමු වුණා. මහේශාඛ්‍ය ජීවිතයකට පත්වෙනවා. දැන් වීමෙන් ඔබට තේරෙනවා ඇති, විඤ්Æණය නමැති මැජික් කරුවා, ඔබේ අතීත කුසලය, අකුසලයට අදාලව, කැමැත්ත, අකමැත්ත මෙහෙයවන හේතුඵල ධර්මයන්ගේ, යථා ස්‌වභාවය බව. සමාජය තුළ සිදුවන සෑම ජයග්‍රහණයක්‌ම, පරාජයක්‌ම, සංස්‌කාරයන්ගේ නූල් සුත්තරය නිසාම සිද්ධවෙන බව ඔබට වැටහෙනවා ඇති. ඉහත පිංවතාට පන්සලට, පිංකමට යන්න සිත නොදෙන්නේ පෙර ජීවිතයේ, කුසල් ශක්‌තිය නිසා, ඔහුට පෙළපාලි යන්න සිත යොමුවූයේ අතීත කුසලය විපාක දීමට, මාර්ගය විවරකොට දීමට අවශ්‍ය නිසා. දැන් පිංවත් ඔබට වැටහෙනවාද? කුසලය සහ අකුසලය විපාකදීමේදී මොනතරම් උපක්‍රමශීලී ස්‌වභාවයක් ගන්නවාද කියලා. පිංවත් ඔබට භික්‌ෂුව ඉහත කාරණය සටහන් තබන්නේ, ඔබට මේ ජීවිතයේදී උතුම් සෝවාන් පලයට පත්වීමට නොහැකිවුණොත්, පින කියන ධර්මයේ, ආශ්චර්යමත්භාවය කෙරෙහි, ඔබ තුළ ඡන්දයක් ඇතිකොට දෙන්න. අවසාන චුති සිතේ. ඇතිවූ යම් දුර්වලතාවයක් හේතුවෙන්, ඔබ සාමාන්‍ය පවුලක ඉපදුනත්, මහේශාක්‍යභාවය ඔබට අහිමි නැහැ කියන කාරණය මතුකොට පෙන්වන්න.
හැබැයි ඉතිං සංස්‌කාරයෝ අනිත්‍යයි. වෙනස්‌වෙලා යනවා. අහිමිවෙලා යනවා. විකෘතිවෙලා යනවා. පරාජය වෙලා යනවා. ජයවේවා කියපු මනුෂ්‍යයෝම, අවසානයේදී බන්ධනාගාරගතවේවා යෑයි කියනවා. මුලාවක්, වි-ජාවක්, මායාවක්‌මයි ලෝකය, පෙර ජීවිතයේ සුගතියක සිට, මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා, මෝහය ජීවිතය කොට ගන්නා නිසාම මරණීය මතු සතර අපායන්ට වැටෙනවා. මනුෂ්‍යයාට පින විපාක දෙනකොට, හැමෝම ඔහුට ජයවේවා කියනවා. පින ගෙවීයනකොට, තවත් පිංවන්තයෙකුට ජයවේවා යෑයි කියනවා. දක්‌ෂයා අකුසලයට යට නොවී, කුසලය තුළින් නැවත පින මතුකොට ගන්නවා. තට්‌ටුමාරු ක්‍රමයට මෝහබරිත සත්වයාට, පින සහ පව, මැජික් පෙන්වනවා. සංස්‌කාරයක්‌වූ, පින සහ පව මගේ කොට ගැනීම නිසා, මැජික්‌කරුවාගේ මැජික් සාස්‌තරයට සත්වයා නිරතුරුවම කොටුවෙනවා.
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
131 කොටස
පින දැක සැඟවෙනු කුමකට සිල් රැක එය විඳිනු මිසක
(භික්‍ෂුව මල් ඇතිරූ පාවඩ මතින් ගමන් කළේ ඇයි...?)
දෙවියා බ්‍රහ්මයාට සාපේක්‍ෂව මනුෂ්‍යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට ආශ්වාදයේ බලවත්භාවය නිසාම, අකුසල් මූලයන් රැස්‌වී පින විනාශකොට දමනවා. දැන් ඔහු පරාජිතයෙක්. ලෝකය කවදාවත් හිස්‌වීමක් නැහැ. පුරප්පාඩු නැහැ. තව තත්පරයකින් ශක්‍ර දෙවියන් දිව්‍ය ලෝකයේදී පිරිනිවී ගියොත්, ඒ ක්‍ෂණයේදීම ශක්‍ර දෙවියන් වෙලා තවත් පිංවන්තයෙක් උපත ලබනවා. තාවකාලිකව හෙවත් වැඩ බලන්න කව්රුවත් පත්කරන්නේ නැහැ. තන්හා පච්ජයා උපාදාන, උපදාන පච්ජය භවය කියන ධර්මතාවය, සැපයන් කෙරෙහි, සශ්‍රිකභාවය කෙරෙහි, කැමැත්ත කෙරෙහි ඇස ගසාගෙනයි සිටින්නේ. අතිරික්‌තය නිසා තරගයක් මිසක් පුරප්පාඩුවක් නැහැ. තෘෂ්ණාව යස අගේට, භවයේ නිලතලවල පුරප්පාඩු අසුරු සැණින් පුරවනවා. නමුත් බුදුරජාණන්වහන්සේ නමක් නැවත ලෝකයේ පහළවෙන්න තවත් අවුරුදු ලක්‍ෂ විසිපහකට වඩා කාලයක් ගතවෙනවා. තෘෂ්ණාවේ නිරෝධයට, තෘෂ්ණාවේ විනාශයට මාර්ගය මතුකොටදෙන, බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම දුර්ලභ වෙන්නේ, ලෝකයේ නැවැත්මට වඩා ලෝකයේ ගලාගෙන යැම ශක්‌තිමත් නිසාමයි. පිංවත් ඔබ තුළ තෘෂ්ණාව වැඩිවෙනකොට, ඔබට ලෝකය දීර්ඝ වෙනවා. ඔබේ තෘෂ්ණාව සියුම් වෙනකොට, ඔබ ලෝකයෙන් හුදෙකලා වෙනවා.ලෝකයත්, රටත්, ජාතියත්, ආගමත් තමා තුළ සකස් වෙන පංචඋපාධානස්‌කන්ධයක් වූ ධර්මයන්. ඔබ කාම, රූපී, අරූපී භවාත්‍රය තුළ, නැතිනම් ලෝක සිතියම තුළ ලෝකය සෙවීමේ නිරර්ථක වෑයමක යෙදී සිටිනවා. නමුත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සම්මුති ලෝකය තුළ ලෝකය සොයන්න එපා, තමා තුළින් ලෝකය මතුකොටගන්න කියලා. පිංවත් ඔබ තවමත් එයට සූදානම් නැතිනම්, ඔබ වැටෙන දීර්ඝ භව ගමනට එකම මග වියදම වෙන්නේ පිනයි.
පිංවතෙක් භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක් ඇසුවා, පින කියන වචනයේ අර්ථය කුමක්‌ද කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා පින කියලා කියන්නේ සැපයට කියන තවත් නමක්‌ය කියලා. එහෙමනම් සත්වයා ලබන ආයුෂ, වර්ණය, සැපය සහ බලයයි පින කියලා කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරෙනවා යමෙක් තෙරුවන් කෙරහි සද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, සියතින් සාදාගත් දෙයින්, සකසා ප්‍රනීතව දන්දීමෙන් සශ්‍රික යස ඉසුරින් පිරි, ධන සම්පත් ලබනවාය කියලා. ඔහු තමන් ලබන්නා වූ ධන සම්පත්, සහ ඉසුරු තමාගේ සැපය උදෙසා සුවසේ පරිහරණය කරනවා. සමාජයේ ජීවත්වන පිංවතුන් සිටිනවා, එම අය තමන්ට යස ඉසුරු, ධන සම්පත් ලැබුණත්, ඒවා සුවසේ පරිහරණය කොට ජීවිතයට සැප ලබන්නට ඔවුන්ට සිතදෙන්නේ නැහැ. ලක්‍ෂ ගණන් ආදායම් තිබෙනවා. නමුත් ඔහු කෑමට ගන්නේ නීරස, කටුක ආහාරයක්. අල්මාරියේ ඇඳුම් කට්‌ටල විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් ඔහු පරිහරණය කරන්නේ එකම ඇඳුමක් පමණයි. ගෙදර වාහනයක් තිබෙනවා. නමුත් ඔහු ගමන් කරන්නේ පොදු වාහනයක. සම්පත්, ධනය ලැබුණා. නමුත් භුක්‌ති විඳන්නට ඉඩදෙන්නේ නැහැ.
මීට ප්‍රධානම හේතුව වෙන්නේ පෙර ජීවිතයේදී දන් පූජා කළ, නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සාදා දන්දීම, ප්‍රනීතව සකසා දන්දීම කියන අර්ථයන් දුර්වලවයි ඔහු දානය පූජාකරගෙන තිබෙන්නේ. නමුත් පිංවතුන්ලා, මේ සංස්‌කාරයන්ගේ ස්‌වභාවය ධර්මානුකූලව හඳුනාගැනීමට නොහැකිවීම නිසාම, මෙවැනි කර්මවිපාකයන්, තමාගේ අල්පේච්ජභාවය, තමාගේ සරලභාවය වැනි නොමග ගිය අර්ථකථනයන්ගෙන් හඳුන්වාගන්නවා. අකුසල් සංස්‌කාරයන්ගේ විපාකය නිසා යම් පිංවතෙකුට, සැප සම්පත්, යස ඉසුරු ලැබෙද්දී ඒවා භුක්‌තිවිඳීමට, ඒවායින් සැප ලැබීමට සිත නොදෙනවාය කියලා, කුසල් සංස්‌කාර හේතුවෙන් තමන්ට ලැබෙන යස ඉසුරු, සැප සම්පත්, ධනය, සුවසේ සැපසේ භුක්‌ති විඳින පිංවතුන්ලාට, ඔවුන් වැරදියි කියලා ඇඟිල්ල දිගු කරනවා නම්, එය ධර්මය වැරදියි කියලා ඇඟිල්ල දිගුකිරීමක් වෙනවා. පින විපාකයට එනවිට, සැබෑ දක්‍ෂයා, පිනට අදාළ සැපයන් භුක්‌ති විඳින්නේ ශිල්පද ආරක්‍ෂා කරගෙනයි. අදක්‍ෂයා, තමාගේ පිනට අදාළ සැපයන් ලැබෙනකොට, ආශ්වාදයට මත්වී, ශීලයෙන් දුර්වලභාවයට පත්වී, අනතුරට පත්වෙනවා.
ගිහි පිංවතුන්ලාට පින විපාක දෙන විට, එම සැපයන්ගෙන් පලා යන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ, පෙර පින නිසා ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලය ශිල්පද ආරක්‍ෂාකොටගෙන භුක්‌ති විඳින්නය කියලයි. ගිහි පිංවත් ඔබ පින ප්‍රතික්‍ෂේප කරනවා නම්, සැපය ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ තමන් ප්‍රතික්‍ෂේප කරන්නේ ධර්මයේ අර්ථයනුයි. මේ සටහන් තබන භික්‍ෂුව පසුගිය වසර දෙකේදී ප්‍රසිද්ධ ධර්මදේශනාවන් පවත්වනවිට පිංවතුන් මහා සංඝරත්නය අරමුණුකොට, භික්‍ෂුවට මලින්, සුවඳින්, ආලෝකයෙන් පාවඩවලින් අප්‍රමාණ පූජාවන් දැක්‌වූවා. හුඟක් පිංවතුන් ස්‌වයංව තීරණය කරලා භික්‍ෂුව වඩින පාවඩ මත මල් අතුරා තිබුණා. භික්‍ෂුව තුළ මේ කිසිම ධර්මතාවයකට ඇලීමක් හෝ ගැටීමක් ඇතිවුණේ නැහැ. මේවා නිසා සකස්‌වූ උපේක්‍ෂා සහගත සිතත්, අනිත්‍ය වශයෙන් දකිමින් එම පූජාවන් පැවැත්වූ පිංවතුන්ලාට, පූජාකළ සෑම මලකටම ධර්මයේ ඉහළම වටිනාකම ලබාදුන්නා. නමුත් සමහරක් පිංවතුන්ලා, පිනේ විපාකදීමේ ස්‌වභාවය නොදන්නා නිසාම මේවා දැකලා ගැටුණා. නමුත් භික්‍ෂුව එම පිංවතුන්ලාට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කළේ, දිව්‍ය තලයේ දිව්‍ය උයන්වල, දිව්‍ය මදාරා මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස් හොඳින් වැඩුණු අඹගස් වගේ විශාලයි. එම දිව්‍ය මදාරා මල්ගස්‌වල කොළ නැහැ. තනිකරම මලින් බරවෙලයි තිබෙන්නේ. සුදු, නිල්, රතු, කහ... නේක වර්ණ මල්ගස් තිබෙනවා. මේ දිව්‍ය මදාරා මල්ගස්‌වලින් මදාරා මල්ගස් ගෙනැවිත්, භික්‍ෂුව වඩින පාවඩ මත ඇතිරුවත්, භික්‍ෂුව නොබියව, නොපැකිළිව එම මල් පාවඩ මත වඩිනවාය කියලා. භික්‍ෂුවගේ ශීලය, සමාධිය, ප්‍රඥාව ගැන භික්‍ෂුවට සැකයක් නැහැ. මේවා දුර්වලවුණු තැනයි, එවැනි දෑ පරිහරණය පිණිස බිය සකස්‌වෙන්නේ. භික්‍ෂුව එදා මල්පාවඩ මත ගමන් කළේ, මලින්, සුවඳින්, ආලෝකයෙන් කළ පූජාවන් සංඝරත්නය වෙනුවෙන් පිළිගත්තේ, ලෝකයාට ආදර්ශයක් දෙන්නයි. මෙන්න පින නමැති සංස්‌කාරයන්ගේ සැබෑම ඵලය කියලා. පිංවතුන්ලාට ධර්මයේ පාඩමක් කියාදීමටයි. මේ පාඩම සම්මාදිට්‌ඨියේ අර්ථය පිළිබඳව පාඩමක්. අපි මේ කුසල් සංස්‌කාරයන් විපාකදෙන ස්‌වභාවය සඟවාගෙන සිටියොත්, පිංවතුන්ලාට ආදර්ශයක් නොමැති වෙනවා. එදා භික්‍ෂුවට පුළුවන් වුණා, පිනේ සහ කුසලයේ සැබෑම ශක්‌තිය පිංවතුන්ලාට ඔප්පුකොට පෙන්වලා, පිංවතුන්ලාට පින කෙරෙහි ඇති ඡන්දය ශක්‌තිමත්කොට දෙන්න. භව ගමනේ සැපයට අදාළ සංස්‌කාරයන් දියුණුකොට දෙන්න. පිංවත් ඔබට මුල් පියවරේදී ප්‍රඥාව මතුකොටගැනීම පිණිස, ආයුෂ, වර්ණය, සැපය, බලය, අත්‍යවශ්‍ය වෙනවා. භික්‍ෂුව නැවතත් පිංවත් ඔබට කරුණාවෙන් මතක්‌කොට දෙනවා, පින විපාකදෙනකොට සැපයෙන් පලායන්න එපා. ශිල්පද ආරක්‍ෂා කරගෙන පින භුක්‌ති විඳින්න. ලෝකයාට පිනේ ශක්‌තිය මතුකොට පෙන්වන්න. මෙය සම්මාදිට්‌ඨියට පත්වූ පිංවතෙකුගේ ප්‍රධාන ලක්‍ෂණයක් වෙනවා.
බුදුරජාණන්වහන්සේගේ පෙර පාරමී ශක්‌තිය නිසාම ලැබුණු දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණ උන්වහන්සේ සඟවාගෙන ජීවත්වුණේ නැහැ. පිනේ ඵලයට බුදුරජාණන්වහන්සේ විවෘතව බබළන්න දුන්නා. සීවලී මහරහතන්වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්‌ථානය ලැබුවාය කියලා, අනෙක් සෑම රහතන්වහන්සේ නමකටම වඩා තමන්ට සිව්පසය ලැබුණාය කියලා මෙය දැක අනෙක් ස්‌වාමීන්වහන්සේලා ගැටේවි යයි සිතා කැලයට ගොස් ජීවත්වුණේ නැහැ. මහානාම ශාක්‍යයා මේ ශාසනයේ ප්‍රනීතව දන්දෙන්නන් අතර අග්‍රස්‌ථානය පත්වූ උපාසකතුමා. එතුමා, දකින අනෙක් අය ගැටේවිය කියලා තමන් විසින් ස්‌වාමීන්වහන්සේලා උදෙසා ප්‍රනීතව දන්දීම නැවැත්වුවේ නැහැ. ධර්මය සඳහිරු සේ බබළනවා.
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
132 කොටස
ඔබ අනුන්ගේ සංස්‌කාරයන්ට ඔරවන්නෙක්‌ද?
අඅග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින්ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්‌සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩි වැඩියෙන් අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, බලවත් කෙනා දුබලයාගේ දෙය අයිතිකොටගැනීමට යැම හේතුවෙන්, නැතිකෙනා ඇතිකෙනාගෙන් සොරාගැනීම හේතුවෙන් ඇතිවූ අර්බුදයට පිළියමක් වශයෙන්, ජනතාව එකතුව තමන් අතර සිටින ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිම පුද්ගලයා තම පාලකයා වශයෙන් තෝරාගත්තා. මොහු මිනිස් ප්‍රජාවගේ පළමු පාලකයා වෙනවා. මේ පාලකයාගේ නඩත්තුව සඳහා සෑම පුද්ගලයෙක්‌ම තම අස්‌වැන්නෙන් සුළු කොටසක් ලබාදීමට එකඟවෙනවා. මෙය රාජ්‍ය බදු ක්‍රමයේ ආරම්භය වෙනවා. මනුෂ්‍ය ප්‍රජාව ඇති වූ දා පටන්ම පාලකයා කියන්නේ පිනේ ඵලයක්‌මයි.අතීතයේ ජීවත්වූ කොසොල් රජතුමා, බිම්බිසාර රජතුමා, උදේනි රජතුමා, අජාසත්ත රජතුමා, තමන්ට පෙර පින නිසාම ලැබුණු සම්පත්, සැපයන් සුවසේ පරිහරණය කළා. රජ මාළිගාවල ජීවත් වුණා. මිල අධිකම අජානීය අසුන්, ඇතුන් පරිහරණය කළා. මේ සැම රජ කෙනෙකුටම රූමත් අන්තඃපුර බිසෝවරු සිටියා. මේ බිසෝවරුන් අයිතිකොට ගැනීමේදී, රජතුමාට සම්මත විනයක් තිබුණා. තමන් රජුය කියලා රජවරු මේ විනය කඩකළේ නැහැ. ස්‌වාමිපුරුෂයා ජීවතුන් අතර සිටින කිසිම කාන්තාවක් රජවරු තම අන්තප්පුරයට ගත්තේ නැහැ. මේ සෑම රජකෙනෙක්‌ම බුදුරජාණන් වහන්සේව සමීපව ඇසුරු කළ අයයි. ඒත් බුදුරජාණන් වහන්සේ කිසිම අවස්‌ථාවකදී රජවරු ලබන මේ සැපසම්පත් විවේචනය කළේ නැහැ. අන්තඃපුර වසාදමන ලෙස බලපෑම් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැම සැප සම්පතක්‌ම අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයන්ය කියලා. රාජ්‍ය වංශයට උරුම සම්ප්‍රදායන්ට බුදුරජාණන් වහන්සේ ගරු කළා. බුදුරජාණන්වහන්සේ මේ සෑම රජ කෙනෙකුටම තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිලි කළා. ශීලයේ, දානයේ වටිනාකම පැහැදිලිකොට අවවාද අනුශාසනා කළා. බිම්බිසාර රජතුමාගේ ෙ€මා අගබිසව, රාජසම්පත් හැරදමා උතුම් අරහත් උත්තමාවියක් බවට පත්වුණා. උදේනි රජතුමාගේ සෝමාවතී බිසව සෝවාන් ඵලයට පත්ව සිටි අන්තඃපුර බිසවක්. කොසොල් රජතුමාගේ මල්ලිකා බිසව නිරතුරුවම බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබුව බිසවක්. මේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ වැරැද්දක් දැක්‌කේ නැහැ. දඹදිව සෑම රාජ්‍යයකම ප්‍රසිද්ධ ගණිකාවක් සිටියා. මේ ප්‍රසිද්ධ ගණිකාව රාජ්‍යයට සම්පතක්, ගෞරවයක් හැටියටයි එදා ජනයා දැක්‌කේ. ඇයගේ රූමත්භාවය නිසාම රාජ්‍යයේ ජනප්‍රියභාවය වැඩිවුණා. මෙවැනි ප්‍රසිද්ධ ගණිකාවක් තමයි අම්බපාලිය. ඇය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට, තම නිවසේ දානයකට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඇයගේ දානය සතුටින් භාරගත්තා. මේ බව දැනගත් ලිච්ඡවී කුමාරවරු, අම්බපාලියගේ දානය ප්‍රතික්‍ෂේපකොට තම දානය පිළිගන්නා ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්‍ෂේපකොට අම්බපාලියගේ දානයට වැඩම කළා. අම්බපාලිය ප්‍රසිද්ධ ගණිකාවක් වුවත් බුදුරජාණන්වහන්සේ ඇය තුළින් ඇයගේ රූමත්භාවය, ධනසම්පත් සේම ගණිකාවක් වීමද දැක්‌කේ සංස්‌කාරයන්ගේ ඵලයන් හැටියටයි.
පිංවතුන්ලාට කුසල්, අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් මතුකොට පෙන්වා දෙන්නේ සම්මා දිට්‌ඨියේ අර්ථයයි. ඔබ තුළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් දුර්වල නම්, මේ කාරණා නිවැරදිව හඳුනාගන්න බැරිවෙනවා. ලෝකයේ මිථ්‍යාදෘෂ්ටියෙන් පෝෂණය වුණ, යම් යම් දේශපාලන මතවාදයන් තිබෙනවා. එම මතවාදයන් විසින් ලෝකයට උගන්වන්නේ රජතුමාත්, කම්කරු පිංවතාත් සම මට්‌ටමක තිබිය යුතුයි කියලා. සම අයිතිවාසිකම් භුක්‌තිවිඳිය යුතුය කියලා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික මතවාදයන්, පිංවතුන්ලාව මුලාකිරීමටත්, පිංවතුන්ලා තුළ ද්වේෂය ඇතිකිරීමටත් හොඳ පොහොරක් වෙනවා. නමුත් එවැනි මතවාද බුද්ධාගම විසින් දැඩි සේ ප්‍රතික්‍ෂේප කරනවා.
යම් පිංවතෙක්, තවත් පිංවතෙක් විඳින සැපය විවේචනය කරනවා නම්, ඔහු විවේචනය කරන්නේ උතුම් සද්ධර්මයේ අර්ථයක්‌මයි. සමාජය තුළ ජීවත්වෙන, ආයුෂ, වර්ණය, සැපය, බලය සහිත, ශිල්පද ආරක්‍ෂා කොටගෙන එම සැපයන් භුක්‌ති විඳින පිංවතුන්ලා දකිනකොට පෙර පුණ්‍ය ශක්‌තියේ අපි දකින්නේ. ලෞකික සම්මාදිට්‌ඨියේ අර්ථයන්ගේ ජීවමාන සාධකයනුයි ඔබ දකින්නේ. මෙවැනි සැප විඳින පිංවතුන් බෞද්ධ වේවා, අබෞද්ධ වේවා ඔවුන් පින ගැන වටිනා පාඩමක් සමාජයට කියලා දෙනවා.
පිංවත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා. ද්වේෂ කරන්න එපා. එවැනි අකුසලයන්ට අන්‍යයන්වද පොළොඹවන්න, උසිගන්වන්න එපා. පුද්ගලයෙක් විඳින සැපයට හේතුව ධර්මානුකූලව හඳුනාගෙන ඔබත් සැපයට අදාළ සංස්‌කාරන් ජීවිතයට එකතු කරගන්න.
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......




