134 කොටස වධකයා කළණ මිතුරු වෙස්‌ගෙන ඒවී...
පරිස්‌සමෙන්
තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නැමති වදකයා කළ්‍යාණ මිතුරෙක්‌සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින්ම සතුරා, වදකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ භාහිර රූපයක්‌මයි. භික්‍ෂුව ඔබට උදාහරණයක් දක්‌වනවා. කෙනෙක් පිංවත් ඔබට චෝදනාවක් කරනවා. ඔබ ඔහුත් සමග සන්ඩුවට යනවා. අනුනගේ ක්‍රියාවක් ඔබේ කර පෙන්වා ඔබව අකුලයට යොමුකළේ ඔබ තුළ සැඟවී සිටි වදකයාමයි. වදකයා නිරතුරුවම ඵස්‌සය ළඟ නැවතී ඵස්‌සය තෘෂ්ණාවෙන් තෙත්කර දෙනවා. දැන් ඔබ සැපවේදනාවත්, දුක් වේදනාවත්, උපේක්‍ෂා සහගත වේදනාවත් තුරුල්කරගන්නවා. වදකයා දුක්, සැප, උපේක්‍ෂා වදයන් දෙමින් භවයෙන් භවයට පටිච්චසමුප්පන්නව ගමන් කරනවා. භික්‍ෂුවගේ ගිහිකාලයේ'වදකය' මට බෝහෝම කාරුණික මෛත්‍රී සහගත සුරතල් අදහස් ඉදිරිපත්කර තිබෙනවා.'දැන්ම පැවිදිවෙන්න එපා. කසාදයක් බැදලා දෙදෙනාම එකට පැවිදිවෙන්න. අවුරුදු හැට පිරුණාට පස්‌සේ පැවිදිවෙන්න. පැවිදි වෙන්න අවශ්‍ය නැහැ. හොඳින් ජීවත්වුනාම ඇති. කසාද බැඳල දරුවෙක්‌ව පැවිදිකරවන්න. තමා තුළම සැඟවී සිටි වදකයා භවගමනේ පටිච්චසමුප්පන්නව, මාව වදයට පමුණුවන්න මොනතරම් සුරතල් වදන් කියල තිබෙනවාද? ආදරය පෙන්වලා වදකයා කල්ප කොච්චරකට ඔබව පුච්චලා දමන්න ඇතිද?
එක්‌තරා තීරණාත්මක රාත්‍රියකදී වදකයා භික්‍ෂුවට බෝහෝම ලස්‌සන අදහස් දෙනවා එම අදහසේ ආදරය ලෙන්ගතුබව කරුණාව හොඳින් තවරලයි තිබුණේ. වදකයා භික්‍ෂුවට කියනවා'නිවීම උදෙසා ඔබ ජීවිතය මරණයට දමන්න එපා. ඔබ මේ ව්‍යයාමයේදී අපවත් වුවහොත් ඔබට නිවන අහිමිව'ය කියල. භික්‍ෂුව මේ වෙලාව වෙනකොට වදකයාව හ»නාගෙනයි සිටින්නේ. ඒ හඳුනාගැනීම තුළින් වදකයා බැසගෙන සිටිනවාය කියල භික්‍ෂුව අවබෝධයෙන්ම දන්නවා. බොහෝම සියුම්ව අතුරේ යන ගමනක්. ඥාන දර්ශන තුළින් රූපය කෙරෙහි තෘෂ්ණාව බිඳදැමු තැනදී වදකයාට, ඒ කියන්නේ විඤ්ඤාණයට බැසගැනීමට ඇති මව් භූමිය අහිමිකළා වෙනවා. එතැනදී පිරිනිවීමත් සමගම වධකයාට නිවීයන්නයි සිද්ධවෙන්නේ. කොයිතරම් ලස්‌සන සුන්දර ධර්මයක්‌ද. කල්පකෝටි ගණන් පටිච්චසමුපන්නව ගලාගෙන පැමිණි දුකක් එක සිතුවිල්ලකින් නිවා දමනවා. සත්වයාට සැපයට මගකියන මෙවන් ධර්මයක් මේ ලෝකය තුළ නොමැති බව නුවණින් දකින්න. මේ උතුම් ධර්මය එක දිනක් හෝ ලෝකසත්වයාට යහපත පිණිස, සැපය පිණිස සුරක්‍ෂිතව තැබීමට ඔබත් ධර්මය තුළින්ම කැපවෙන්න. ක්‍රමාණුකූලව බෞද්ධ ජනතාව සද්ධාවෙන් බැහැරව යනවිට හේතුඵල ධර්මයන් නිසාම මේ උතුම් බිමේ අන්‍යආගමික පිංවතුන්ගේ ගහනය වැඩිවෙනවා. අනාගතයේ මේ පිංබිමේ පහලවෙන පාලක පිංවතුන්ලාට අන්‍යආගමික පිංවතුන්ලාගේ සහයෝගයෙන් තොරව පවතින්න බැරිව යනවා. උතුම් සද්ධර්මයට හිතැති පාලක පිංවතුන් අන්‍යආගමික පිංවතුන්ගේ සහයෝගයෙන් දුර්වලකර දමනවා. මේවා හේතුඵලධර්මයන්. කා සමගවත් ගැටෙන්න චෝදනාකරන්න අවශ්‍ය නැහැ. උතුම් සද්ධර්මයේ අර්ථයන්ගේ ආරක්‍ෂාව උදෙසා පිංවත් ඔබ කවදාකවත් කිසිවෙක් සමග ද්වේශයක් ඇතිකරගන්න එපා. ධර්මය උදෙසා කවදාකවත් ගල් කැබැල්ලක්‌වත් අතට ගන්න එපා. අධර්මයෙන් ධර්මය ජයගන්න හදන්න එපා.
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
135 කොටස
පිංවත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළ ශක්‌තිමත්වෙන්න. හේතුඵල ධර්මයන් නිසාම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ වර්ණය සැපය බලයට ඊර්ෂ්‍යයාකරන්න එපා. ද්වේශ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මාදිට්‌ඨියේ අර්ථයන් තුළ සිටිමින්ම ඉහත අර්ථයන් විග්‍රහකරගන්න දක්‍ෂවෙන්න.මාර්ගඵල ලැබීමට පෙරාතුව මේ ධර්මයන් අපි දැනගත යුතුයි. එසේ නොවුණහොත් මාර්ගඵලත්, ධර්මයත් දෙකම අපට අහිමිවෙනවා. ලෝකය නැවත හටගන්න මුල්කාලයේ පටන් පාලක පන්තියත්, පුජකපක්‍ෂයත්, ව්‍යපාරික, ගොවි, කම්කරු පන්තියත් මේ ලෝකයේ සිටියා. ඒ ඒ පන්තීන්ට පෙර පින සහ පව් නිසා ලැබෙන සැපයේ විවිධත්වය සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් දකින්න ඕන. කම්කරු පන්තියේ මහත්මයෙකුට රටක පාලකයෙක් වෙන්න අවශ්‍ය කුසලයේ මාර්ගය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය තුළයි තිබෙන්නේ. එම නිසා සැපයට කැමති වීමෙන් ඔබ ඔබේ ආරක්‍ෂක ඉලක්‌කය කරගත යුත්තේ සම්මා සම්බුද්ධ ශාසනයයි.
භික්‍ෂුව මේ සටහන ලියන්නේ ලෞකික සම්මා දිට්‌ඨියේ අර්ථයන් ඔබට පැහැදිලිකර දීමටයි. ඒ තුළින් අනතුරුනුවනින් දැකලා ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවය ඇතිකරගන්න. එක රැයකින් හුඟක් දේවල් වෙනස්‌වෙලා යන්න පුළුවන්. විනාශවෙලා යන්න පුළුවන්a. කොසොල් රජතුමාගේ දරුවෙක් වූ විරූඬක කුමාරයා ශාක්‍ය වංශය සමග ඇතිකරගත් වෛරයක් නිසා ශාක්‍යවංශයෙන් පළිගන්න හමුදාසේනාවන් අරගෙන කිඹුල්වතට යනවා. මේ කාරණය දිවැසින් දැකලා බුදුරජාණන් වහන්සේ තමන් උපන් ශාක්‍යය වංශය කෙරෙහි කරුණාවෙන් විරූඬක කුමාරයා සේනාව සමග ගමන් කරන අතර මගට වැඩම කරලා මෛත්‍රී ආනිශංස පහදා දීලා විරූඬක කුමාරය සහ සේනාව ආපසු හරවා ඇරියා. නැවත කාලයක් ගියාට පස්‌සේ විරූඩක කුමාරයට පරණ වෛරය මතක්‌වෙලා ශාක්‍ය වංශය විනාශකර දැමීමට සේනාව අරගෙන කිඹුල්වතට යනවා. දෙවැනි වරත් බුදුරජාණන් වහන්සේ අතරමගට වැඩමකරල කුමාරයාට ද්වේශයේ ආදීනව පහදල දීලා ආපසු හරවා යෑවුවා. නැවත කාලයක් ගියාට පස්‌සේ වීරූඬක කුමාරයාට ශාඛ්‍ය වංශය කෙරෙහි පරණ වෛරය මතක්‌වෙලා සේනාව අරගෙන කිඹුල්වතට යනවා. තුන්වැනි වතාවේ බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා, දෙවතාවක්‌ම විරූඬක කුමාරයාට අවවාද කරලත් ඇයි මේ විදිහට ඔහු ශාක්‍ය වංශිකයන්ව සමූලඝාතනය කරන්නට යන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දකිනවා ශාක්‍යයන්ගේ අතීත ප්‍රාණඝාත අකුසල කර්මයක් විපාක දීමටයි සූදානම් වෙන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ හේතුඵල දැකලා තුන්වැනි වතාවේ විරූඬක කුමාරයා නවත්වන්න වැඩියේ නැහැ. විරූඬක කුමාරයා ද්වේශයෙන් මුළු ශාක්‍යවංශයම මරා විනාශකොට දැම්මා.
බුදුරජාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්‌මහ බැලුම් බලා උපන් ශාක්‍ය වංශයත්, බුදුරජාණ්‌වහන්සේ ජීවමානව සිටියදීම විනාශවී ගියානම් එතැන තමයි අප ඉගෙනගතයුතු ධර්මය. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි. එකම විසඳුම ධර්මමාර්ගය තුළ අප්‍රමාදීභාවයයි. අප්‍රමාදී නොවුවහොත් අපව විනාශවෙලා යාවී. ඒ දෙසටයි හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ.
භික්‍ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙද්දී සශ්‍රික දිව්‍යතලයක ජීවත්වන දිව්‍යාංගනාවක් අරමුණුවෙනවා. ඇය සුදෝ සුදු ප්‍රභාශ්වර දිව්‍යාංගනාවක්. සුදු පාට හැර වෙන වර්ණයක් ඇගේ දිව්‍ය ශරීරයේ නැහැ. ඇය ප්‍රභාශ්වර සුදු දිලිසෙන වස්‌ත්‍රයකිනුයි සැරසී සිටින්නේ. එය හරියට මඟුල් දිනයට මනාලියන් අඳින දිගු සුදු ගවුමක් වගෙයි. ඇගේ කෙස් කළඹ දනහිසින් පහළට වැටී තිබෙනවා. ඒ කෙස් කළඹ සිනිඳු, දිලිසෙන සුදෝ සුදු කෙස් කළඹක්. හිසකෙස්‌වල කළු පැහැයක් නැහැ. ඒත් ඒ කෙස් කළඹේ කාන්තිය, ජීවය පිරිලා. ඇගේ ඇසේ කළු ඉංගිරියාවත් සුදු පැහැතියි. ඇසෙන් ආලෝකය පිටවෙනවා. එයත් සුදුපැහැතියි. ඇය හිරුරැස් සේ දීප්තිමත්, සුදෙන් බබලන දිව්‍යාංගනාවක්. පංච කල්‍යාණියක්. ඒ දිව්‍යාංගනාව වෙන කව්රුත් නෙමෙයි විහාරමහා දේවියගේ දිව්‍ය උපතයි. ඇය මෙවන් අසිරියක් ලබන්නේ ගැමුණු පුතාට සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාකරගන්න දුන් ගුරුහරුකම් නිසාමයි. ආරක්‍ෂාකොටගත් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය ජීවිතයට එකතුකොටගත් නිසාමයි. මේ මොහොතේ සශ්‍රික දිව්‍යථලයක දිව්‍ය සැප අත්විඳින දුටුගැමුණු දිව්‍ය කුමරු, විහාරමහා දේවී සුදෝසුදු දිව්‍යාංගනාව ඔබට පෙන්වන ආදර්ශය වන්නේ සියලු මනුෂ්‍යයන්ට මෛත්‍රිය කරුණාව දක්‌වමින්, ශාසනික අර්ථයන්ද රැකීමේ දක්‍ෂතාවය පිංවත් ඔබටද සශ්‍රික දිව්‍ය සැපයට හේතුවක් වන බවයි. භික්‍ෂුව මේවා ඔබට සටහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ආරක්‍ෂා කරලා ඔබටත් සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් අතරට යන්න කියලා ආරාධනා කරන්නයි. එසේ නොවී සම්මා සම්බුද්ධ ශාසනය යනු කුමක්‌ද යන්න හරිහැටි නොදන්නාකම හේතුවෙන්ම, පංච නීවරණයන්ට යටවීමෙන් හෝ අප අතින් උතුම් ශාසනික අර්ථයන් දුර්වල වීමට උපක්‍රම, ක්‍රමවේදයන් සකස්‌වුණොත් ඉන් ඔබට සිදුවන හානියත් සුළුපටු නැහැ. භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, මුළු ශරීර අභ්‍යන්තරයම පිච්චෙමින් මතුවෙන, ලොකු කලයක් වැනි ගිනි ජාලාවක්, තම කිඹුල් කටක් වැනි කටින් නිරතුරුවම පිටකරමින්, පිච්චීමේ මරණීය වේදනාව, සෑම තත්ත්පරයකදීම අත්විඳින දේවදත්ත නිරිසතා, නිරිදුක් විඳින අවිචිමහා නිරයේ තව ඕනෑතරම් ඉඩකඩ ඉතිරිවී තිබෙනවාය කියන කාරණය.
තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කිරීම පිණිස....
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
136 කොටස
පිංවත් ඔබ විවේකීව සිටින විට සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. මොකක්‌ද මේ ජීවිතය. අම්මල, තාත්තල, ආච්චිල, සීයල මැරිලා යනවා. පුතාලා දුවලා මුණුබුරෝ මිණිබිරියෝ ලොකු මහත් වෙනවා. මම කවදා මැරෙයිද, කොයි ආකාරයෙන් මැරෙයිද?, මැරිලා නැවත කොතැනක ඉපදෙයිද, සතර අපායකට වැටුණොත් කල්ප කීයක් එම දුක විඳින්න වේවිද? එදාට මට අද වගේ අම්මෙක්, තාත්තෙක්, දුවෙක්, පුතෙක්, බිරිඳක්, සැමියෙක් කොයින්ද? එදාට තිරිසන් සතෙක් මගේ අම්මා වුණොත්, ප්‍රේතයෙක් මගේ තාත්තා වුණොත්, ගසක අත්තක්, පොළොවක තුඹසක්, තණපිටියක තණගොල්ලක්, කැලයක දිය කඩිත්තක් මගේ නිවස වුණොත්, ප්‍රේත ගුබ්බෑවුමක් මගේ නවාතැන වුණොත් මොන අවාසනාවක්‌ද? එය මොන දුකක්‌ද? මේ දුකේ නැවතීම කොතැනද? නැවතීමේ ආරම්භය කොතැනද?පිංවත් ඔබ විවේකීව සිටින විට මේ ආකාරයෙන් සිතත් සමග පිළිසඳරේ යෙදෙන්න. එය හොඳ ප්‍රවේශයක් වේවි, මේ දුක නැවතීමේ ආරම්භයක් මතුකොටගන්න.
දුකේ ආරම්භය තෘෂ්ණාවය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ගමන් කරන සමස්‌ත සත්ත්ව ප්‍රජාවේම නිර්මාණකරු වෙන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව කියන එකම කාරණයෙන් දුක ලෝකයට බැඳිලා තිබෙනවා. ඵස්‌සය අසල නිතර ගැවසෙමින් ආශ්වාදයේ රසයට මුවාවෙමින්, තෘෂ්ණාව විසින් ලෝකය නැවත නැවත නිර්මාණය කරනවා.
වරෙක බ්‍රහ්මයෙක්, තවත් වරෙක දෙවියෙක්, තවත් වරෙක මනුෂ්‍යයෙක් , තවත් වරෙක සතර අපායේ සත්ත්වයෙක්. අනේකවිධ අපූරු රූ රටා තෘෂ්ණාව විsසින් ලෝකය තුළ උපද්දනවා. දුක විවෘත වූ ලෝකය තුළ, දුකට හේතුව වූ තෘෂ්ණාව සැඟවී ජීවත්වෙනවා.
පිංවත් ඔබ ලබන සෑම ආශ්වාදයේ රසයක් අභියසදීම එහි ආදීනවය මතුකොටගන්න ඔබ දක්‍ෂ නම්, එය තෘෂ්ණාවේ පැවැත්මට අභියෝගයක් වෙනවා. දුක ඇතිකිරීමට හේතුව වන තෘෂ්ණාව, ලෝකයේ පැවැත්ම සඳහා තනිවම දරදිය අදිනවා. තෘෂ්ණාවේ ආධිපත්‍යය බිඳදැමීමේ එකම මාර්ගයට ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා කියනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසෙන නිවැරදි දොරටුව වන්නේ සම්මා දිට්‌ඨිය නැමැති දොරටුවයි. සම්මා දිට්‌ඨියට පිවිසෙන නිවැරදි දොරටුව වන්නේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රයයි, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීමයි. දුක නැතිකොට දැමීමට තෘෂ්ණාවේ ආධිපත්‍යයට එරෙහිව අභියෝග කරන ඔබට ඉහත නිවැරදි ප්‍රවේශය අත්‍යවශ්‍ය වෙනවා. අවිද්‍යාවේ අඳුර, තෘෂ්ණාවේ හැඩරුව, නිතර ඔබෙන් වසන් කරනවා. අවිද්‍යාව යනු අඳුරයි. අඳුර තුළින් ඔබ දකින්නේ අඳුර පමණක්‌මයි.
අවිද්‍යාවේ අඳුරින් ගොරහැඩි වූ ලෝකය නැවතීමක්, නිමාවක්, අවසානයක් නොමැතිව තවත් කල්ප විනාශයන් දස දහස් ගණනක් පසුකොට ගලාගෙන යනවා. විද්‍යාව යනු ප්‍රඥාවේ ආලෝකයයි. ආලෝකය තුළ පිංවත් ඔබ දකින්න සත්‍යයයි, යථාර්ථයි, සම්මා දිට්‌ඨියෙන් මෝදුකොට දෙන ප්‍රඥාවේ ආලෝකයයි. ක්‍රමානුකූලව සම්මා විමුක්‌තියෙන් විකසිත වී, ලෝකයෙන් පිංවත් ඔබව නිදහස්‌කොට දමයි.
ලෝකය යනු කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථයයි. කුමක්‌ද කැඩෙන්නේ, බිඳෙන්නේ, විසිරෙන්නේ එය ලෝකයයි. රූපයයි කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පවතින්නේ. නාම ධර්මයනුයි කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් පවතින්නේ. මොහොතක් පිංවත් ඔබ දෙස හොඳින් බලන්න. ඇසත්, ඇස නිසා සකස්‌වෙන ඵස්‌ස, වේදනා, සංඥා, ෙච්තනා, විඥාන ධර්මයන් කැඩෙමින් බිඳෙමින් විසරෙමින් ගමන් කරනවා නේද? ලෝකය ඔබමයි. ඔබ යනු ලෝකයමයි. තෘෂ්ණාව හිස්‌කර ප්‍රඥාවේ ආලෝකය, තමා තුළින් ලෝකය දකින කැඩපතයි. තෘෂ්ණාවෙන්, තෘෂ්ණාවට බැඳී පවතින දුකත්, සමස්‌ත සත්ව ප්‍රජාවටම මෙතරම් තියුණු අභියෝගයක් එල්ල කොට තිබියදීත්, සමහර පිංවතුන්, ස්‌වාමීන්වහන්සේලාව මුණගැසුණහම අසන ඒකාකාරී ප්‍රශ්න මාලාවක් තිබෙනවා.
'ඔබ වහන්සේගේ නම මොකක්‌ද
'ගම කොහෙද, කවදාද පැවිදිවුණේ, ගිහි කාලේ මොකක්‌ද කළ රැකියාව. කසාද බැඳලද හිටියේ......
මෙවැනි නොවැදගත් ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියහම හරිම පීඩවාක්.
අතීතයේ එක් තරුණයෙක් බුදුරජාණන්වහන්සේ හමුවන්න ඇවිල්ල බොහොම වටිනා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි 'භාග්‍යවතුන්වහන්ස මම නිතරම දුකෙන් ජීවත්වෙනවා. මගේ ඥාතියෙක්, හිතවතෙක් අසනීප වුණහම, මියගියහම මට හරියට දුක ඇතිවෙනවා. ඒ නිසා මම හඬනවා. වැළපෙනවා, ශෝකවෙනවා කියලා.
බුදුරජාණන්වහන්සේ මේ තරුණයාගෙන් පෙරළා ප්‍රශ්න කරනවා.
'තරුණය, ඔබේ ගමේ ඔබේ ළඟම ඥාතිවරයෙක් කලුරිය කරනවා. ඔeබ එම මල ගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ කියලා.
'භාග්‍යවතුන් වහන්ස මට එම ඥාතිවරයාගේ මරණය දරාගැනීමට නොහැකිව වේදනාවෙන් හඬාවැටෙමින් වැළපෙනවා ' කියලා තරුණයා පිළිතුරු දුන්නා.
බුදුරජාණන්වහන්සේ නැවත තරුණයාගෙන් ප්‍රශ්නයක් අහනවා 'තරුණය, ඔබේ ගමේ ඥාතිවරයෙක්, හිතවතෙක් නොවන කෙනෙක් කලුරිය කරනවා. ඔබ ඒ මලගෙදරට ගිහිල්ලා මොකද කරන්නේ කියලා. තරුණයා පිළිතුර දෙනවා. 'මට එම මල ගෙදරදී, දුකක් වේදනාවක් සකස් වෙන්නේ නැහැ. මොකද ඔහු මගේ ඥාතියෙක් නොවන නිසා. එහෙමනම් තරුණයා, දුක කියන කාරණය ඔබ තුළ සකස් වෙන්නේ රූපය කෙරෙහි ඔබ ඇතිකොටගත් තෘෂ්ණාව නිසාමයි. ඥාතිවරයා කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ අඬනවා. දුක්‌වෙන්වා. ඥාති නොවන අය කෙරෙහි ඔබේ තෘෂ්ණාවක් නොමැති නිසා ඔබ දුක්‌වෙන්නේ නැහැ. දුක ඇතිවෙන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......




