පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

ඔබ ශීලයෙන් දුර්වල අය සමග ගැටේද? එසේ නම් වරද ඒ අයගේ නොවේ....

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
137 කොටස 


සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ, කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්‌ දොම්නස්‌ ඇතිවෙනවා, වේදනාව ආත්මය කොටගන්නවා, වේදනාව තුළ මා සිටිනවාය කියලා ගන්නවා, වේදනාව වෙනස්‌වී යනකොට, විපරිනාම වෙනකොට, ශෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌ හටගන්නවා. රූප, වේදනාවන්ගේ අනිත්‍ය දුක්‌ඛ අනාත්මභාවය දියුණුකළ ප්‍රඥවෙන් දකින පිංවතා, දුක ප්‍රහානය කොට දමනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
දුක තුනී කර ගැනීමට යන ගමනේදී දුක නැතිකරන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගිකමාර්ගයට නිවැරැදි ආකාරයෙන් ප්‍රවිෂ්ඨවීම අත්‍යවශ්‍ය කරුණක්‌ වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසෙන, ප්‍රධාන දොරටුව වන සම්මාදිට්‌ඨියෙන් බැහැරව, වෙනත් ප්‍රවේශයන් ඔස්‌සේ ඔබ මාර්ගයට අවතීර්ණවීමට ගියහොත්, දුක නැතිකිරීම වෙනුවට, දුක වැඩිකර ගැනීමට තමයි පිංවත් ඔබට සිදුවෙන්නේ. වර්තමාන සමාජයේ බෞද්ධ ජනතාව තුළ, මේ අනතුර බොහෝම තදින් ක්‍රියාත්මක වෙන බවක්‌ පෙනෙනවා. මෙම අනතුර මතුවෙන්නේ කල්‍යානමිත්‍ර ආශ්‍රයේ ඇති දුර්වලතාවයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ ඉහත අනතුර මතුකොට පෙන්වන බොහෝම වටිනා ධර්මත් දේශනා කොට තිබෙනවා. එම ධර්මය තමයි යමෙක්‌ ශීලයෙන් පරිපූර්ණ වුවද, ඔහු තුළ චිත්ත විශුද්ධිය සහ ප්‍රඥ විශුද්ධිය නැතිනම් ඔහු මරණින් මතු දුකට වැටෙයි කියලා. තෘෂ්ණාව ගැන දුක ගැන කතාකරන කොට ඉහත වටිනා ධර්මය තුළ වර්තමාන සමාජයට සිතන්න, ගොඩක්‌ දේවල් තිබෙනවා. මෙතනදි චිත්ත විශුද්ධිය සහ ප්‍රඥ විශුද්ධිය කියලා දේශනා කරන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥවට අදාල අංග දෙක වන සම්මාදිට්‌ඨිය සහ සම්මා සංකප්පයනුයි.
වර්තමාන සමාජයේ සම්මා දිට්‌ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් අර්ථයෙන් බැහැරව ශීලය ජීවිතයට එකතුකර ගැනීමේ දැඩි වෑයමක්‌ පෙනෙන්නට තිබෙනවා. මෙතනදි සම්මා දිට්‌ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, පටිච්චසමුප්පන්ව නැවත උපතක්‌ ඇතැයි විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්‌කොත් එහි ආනිශංස තිබෙනවාය කියන විශ්වාසය අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, ඕපපාතිකව ඉපදෙන සත්වයන් සිටිනවාය කියන විශ්වාසය, මාර්ගඵලලාභි උතුමන් සිටියාය කියන විශ්වාසය ඒ වගේම සම්මා සංකප්පයන් කියල කියන්නේ අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නෙක්‌ඛම්ම සංකප්පය, ඉහත මාර්ග අංග දෙකේ අර්ථයෙන් පෝෂණය වුන ශීලයයි, සම්මා සතිය තුළ, පිංවත් ඔබව ශක්‌තිමත්කොට දෙන්නේ.
බුදුරජාණන් වහන්සේ ශීලයට අදාළව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග තුනක්‌ වෙන්කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියලා. වර්තමාන සමාජයේ බහුතරයක්‌ පිංවතුන්ලා, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා දිට්‌ඨිය නමැති ප්‍රධාන දොරටුව මගහරිනවා, ඒ නිසාම, සම්මා සංකප්ප කියන දෙවැනි දොරටුවත් මගහැරෙනවා, ප්‍රධාන දොරටු දෙකෙන්ම මගහැරලා සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවො කියන ශීලයට අයත් අංගයන්ට, අතුරු ප්‍රවේශයකින් ප්‍රවිශ්ඨවෙනවා. දැන් ඔහු තුළ ශීලයේ අර්ථයන් වැඩෙන්නේ, සම්මා දිට්‌ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගෙන් තොරවයි. මෙන්න මේ ක්‍රියාදාමය වර්තමාන සමාජය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. සම්මා දිට්‌ඨියෙන් තොර, ශීලයේ ආශ්වාදය නිසාම ඉහත අනතුරින් පින්වත් ඔබට තව තවත් සියුම්ව දුක දෙසට කොටුකරනවා.
සමහරක්‌ පිංවතුන් මාංශ නිර්මාංශ ප්‍රශ්නය නිසා සමාජය තුළ තර්ක විතර්ක කරනවා. තමන්ගේ මතයට එකඟ නොවන අයට, චෝදනා කරනවා. ද්වේෂ කරනවා, මානසිකව හිංසාවට පත්කරනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය සමග ගලපා දකින්නේ නැහැ. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‍ෂා කරන පිංවතුන්, ඒ පිළිබඳව කිසිම සැකයක්‌ නැහැ. එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණයි. නමුත් සම්මාදිට්‌ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන් එම ශීලය පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධියත් ප්‍රඥ විශුද්ධියත් ඒ පිංවතුන්ලා තුළ නැහැ.
බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනාකොට තිබෙනවා බුදුරජාණන් වහන්සේ නමක්‌ පහලවෙන්නේ දඹදිව පමණක්‌ය කියලා. නමුත් සමහර පිංවතුන් සිටිනවා බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම, ඉන්දියාවේ සිදුවූ බව දැඩිව ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‍ෂා කරනපිංවතුන්ලා, මොකද මේ වෙලා තිබෙන්නේ. එම පිංවතුන්ලාගේ ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය සකස්‌වීමක්‌ නැහැ.
සමහර බෞද්ධ පිංවතුන්ලා සිටිනවා ඒ අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. ඒ පිංවතුන්ලාට තේරුමක්‌ නැහැ. පන්සලේ, පල්ලියේ, කෝවිලේ එකම පහන දැල්වුනද, ඒ පහන් දල්වන පිංවතුන්ගේ අරමුණු විශ්වාසයන් වෙනස්‌ බව. පන්සලේ පහන දල්වන්නේ නික්‌ලේෂි බුදුරජාණන් වහන්සේ අරමුණුකොට, නිවන් මාර්ගය අරමුණු කොට පහන් දැල්ලේ අනිත්‍යභාවය අරමුණුකොට නමුත්, පල්ලියේ, කෝවිලේ පහන් දල්වන්නේ ඒ ආගම්වල විශ්වාසයන් අරමුණු මුල්කරගෙන. එම නිසා මේ පිංවතුන් තුළ සකස්‌වෙන ෙච්තනාවන් එකිනෙකට වෙනස්‌ වෙනවා. ඒ පිංවතුන්ලා සර්ව ආගමක්‌ ගැනයි කතාකරන්නේ, සියලුම ආගම් එකයි කියලා. පන්සලත්, පල්ලියත්, කෝවිලත්, තුනම සරණයනවා. නමුත් මේ පිංවතුන් සිල්පද හොඳින් ආරක්‍ෂාකරන බෞද්ධ පිංවතුන්, මොකක්‌ද මේ වෙලාතිබෙන්නේ, තමන්ගේ ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණයවෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය දුර්වලයි.
සමහරක්‌ පිංවතුන් සිටිනවා තමන් හොඳින් ශිල්පද ආරක්‍ෂා කරමින්, තමන්ගේ ශීලය හුවාදක්‌වමින්, අනුන්ව හෙලා දකිනවා, විවේචනය කරනවා. වර්තමානයේ සමහරක්‌ ගිහි පිංවතුන්ලා සිටිනවා තමන්ගේ ශීලය වර්ණනා කරමින්, ස්‌වාමින් වහන්සේලාව හෙලා දකිනවා. ස්‌වාමින්වහන්සේලාට වඳින්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. පන්සලට යන්නේ නැහැ. ඒ වගේමයි සමහර ස්‌වාමින් වහන්සේලාත් සිටිනවා තමන්ගේ ශීලය හුවාදක්‌වමින්, අනෙක්‌ ස්‌වාමින් වහන්සේලාව හෙලාදකිනවා. කොන්කරනවා. ශීලයෙන් දුර්වල පුද්ගලයා තුළින් අපි දකින්න ඕනේ ඔහුගේ ශීලයේ දුර්වලභාවය නොව ධර්මයයි. එහෙම වුණොත් පමණයි අපට පුළුවන් වෙන්නේ ඔහු ඉදිරියේ ආදර්ශවත් වෙන්න. අපි රකින ශීලයේ ගුණාත්මකභාවය මතුකොට ගන්න. මෙහිදී උපසම්පදා ස්‌වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ප්‍රාතිමොක්‌ෂ ශීලයට අදාළව ඉහත කාරණය ගලපාගත යුතු වෙනවා. පිංවත් ඔබ, ශීලයෙන් දුර්වල අය සමග ගැටෙනවා නම්, එය ශීලයෙන් දුර්වල අයගේ වරදක්‌ නොවේ. පිංවත් ඔබ, සිල්වත්ය කියලා ගත්තාවූ දෘෂ්ඨ§යේ වරදයි. පිංවත් ඔබ සිල්වත්ය කියලා ගන්නා දෘෂ්ඨ§යෙන් මිදෙන්න. එවිට ප්‍රශ්නය සමථයකට පත්වේ. දිනක්‌ භික්‌ෂුව කැලෑ මාර්ගයක පිණ්‌ඩපාතයට වඩින විට තුවක්‌කුවක්‌ කරේ තියාගෙන දඩ මස්‌ වර්ගයක්‌ පොහොර උරයක දමාගත් දඩයක්‌කරුවෙක්‌ මුණගැසුනා. භික්‌ෂුව ඔහුට තෙරුවන් සරණයි මහත්තයෝ කියාගෙන වැඩියා, කැලයේ වැඩසිටි එක්‌ ස්‌වාමින් වහන්සේනමක්‌ සතෙකුට වෙඩිල්ලක්‌ තැබූ ගම්වැසියෙක්‌ව අල්ලාගෙන ගසක බැඳලා, වනජීවී නිලධාරීන්ට භාරදීලා ගමේ ප්‍රශ්නයක්‌ ඇතිකරගත් කතාවක්‌ භික්‌ෂුව ගම්මානයකදි අසා තිබෙනවා. අපේ ශීලයේ පරිපූර්ණ බව නිසාම, අපි දුශිල්වත්භාවය සමග ගැටුමට යනවා. ඇයි මේ විදියට සිද්ධවෙන්නේ, තමාගේ ශීලය සම්මා දිට්‌ඨ§යෙන්, සම්මා සංකප්පයන්ගෙන් පෝෂණයවෙලා නැහැ. ඒ නිසාම ඒ පිංවතුන්ලා තුළ චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය සකස්‌වෙලා නැහැ.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
138 කොටස 

ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්‍ෂිත වේද?

භික්‌ෂුව ගම්මානයකක වැඩ සිටිනකොට, එම ගමේ එක්‌ කණ්‌ඩායමක්‌ කිසිම දිනක පිණ්‌ඩපාත මඩුවට පිණ්‌ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා 'හාමුදුරුවෝ ගමේ කුළයෙන් අඩු අයගේ පිණ්‌ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්‌ඩපාතය පූජාකරන්නේ නැහැ' කියලා. මේ කණ්‌ඩායමට කුළයෙන් උසස්‌ අය කියලයි කියන්නේ. මේ කණ්‌ඩායම ගමේ පන්සලට දානෙ පුජාකරන්නෙත් නැහැ. ගමෙන් පිට, නගරයේ තෝරාගත් පන්සලකට තමයි දානය පූජා කරන්නේ. නමුත් මේ පිංවතුන්ලා ශිල්පද පහ හොඳින් ආරක්‍ෂාකරගන්නා පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම සම්මා සංකප්පයන් වැඩිලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. මෙවැනි අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
සමහර පිංවතුන් සිටිනවා, ඒ අය ශිල්පද පහ ආරක්‍ෂාකරගන්නවා. බෞද්ධ පිංවතුන්. නමුත් ඒ අය මහා සංඝරත්නයට දානය පූජාකරන්නේ නැහැ. මහාසංඝරත්නය උදෙසා පූජාකරන දානයේ ආනිසංශ පක්‍ෂය දන්නේ නැහැ. සමහර පිංවතුන්ලා ස්‌වාමීන්වහන්සේලාව අඩු තක්‌සේරුවට ලක්‌කරනවා. එම පිංවතුන්ලා මහළු නිවාස වලට, ළමා නිවාස වලට, රෝහල්වල රෝගීන්ට, දුගී මගී අයට තමයි දන්දෙන්නේ. මේ අයට දන්දෙන්න එපාය කියන එක නෙවෙයි මේ කියන්නේ. මහා සංඝරත්නය අරමුණුකොට පූජාකරන දානයේ අග්‍රභාවය අපි දකින්න අවශ්‍යයි. වර්තමාන සංඝ සමාජයේ යම් ස්‌වාමීන්වහන්සේනමකගේ දුර්වලතාවයක්‌ තිබුණොත්, මහා සංඝරත්නය අරමුණුකොට එම හිස්‌තැන් පුරවාගැනීමට අපි දක්‍ෂවෙන්න ඕනේ. නමුත් එසේ නොවන්නේ මේ පිංවතුන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විමුක්‌තිය වැඩිලා නැහැ. මේ අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්ලා හොඳින් ශිල්පද ආරක්‍ෂා කරනවා, දන්දෙනවා, අනුනට කරදරයක්‌ නොවී යහපත් ජීවිත ගතකරනවා. ඉහත කාරණා තුළින් පමණක්‌ තමන් ධර්මය තුළ සිටිනවාය කියලා සතුටු වෙනවා. එම පිංවතුන් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ගැන දන්නේ නැහැ. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ද කියලා ඇහුවොත් 'දන්නේ නැහැ' කියනවා. සම්මා වායාමෝ කියන්නේ කුමකටද කියලා ඇහුවොත් 'දිනපතා ව්‍යායාම කිරීම' කියලයි කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, යමෙක්‌ ශිල්පද පහ ආරක්‍ෂා කරගත්තාය කියලා, දන් දුන්නාය කියලා, ඔහු බෞද්ධයෙක්‌ වෙන්නේ නැහැය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ බෞද්ධයා කියන්නේ, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ජීවිතයට එකතුකොටගෙන, මාර්ගයේ ගමන්කරන පිංවතාය කියලා. ඇයි ඉහත සඳහන් කළ තත්ත්වයන්ට පිංවතුන්ලා පත්වෙන්නේ. තමන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මේ අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය කාන්ත ශීලය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන උනන්දුවක්‌ දක්‌වන්නේ නැහැ. මේ පිංවතුන් සතියකින් දෙකකින් මාසයකින් යුත් පාඨමාලාවකින් අනුනට ලිත සහතිකයකින් සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ප්‍රදානය කරනවා. ඇයි සමාජය තුළ මෙහෙම වෙන්නේ? එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂනය වෙලා නැහැ. ඒ නිසාම එම පිංවතුන් තුළ චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන්ව වහන්සේ දේශනා කරනවා.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
139 කොටස 

චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වල නම්...

සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා. ඒ අය හොඳින් සිල් පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නොපෙනෙන අනෙක්‌ ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිනවා කියලා. මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක්‌ සද්ධර්මය දේශනා කරනවා කියලා. අපි සියලු දෙනාම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලාය කියලා. ඒ නිසාම අපි සියල්ලෝම බෝධිසත්වයෝය කියලා. මෙවැනි විකාර ධර්මයක්‌ බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. ඇයි මෙවැනි අදහස්‌ සමාජය තුළ පැතිරෙන්නේ. එම පිංවතුන්ලා ශීලයෙහි පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වී නැති නිසා. එම නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය වැඩිලා නැහැ. එම පිංවතුන් මරණීන් මතු දුකට වැටේය. කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් තමන්ගේ අම්මාට තාත්තට සලකන්නේ නැහැ. ගෙදර නොවටිනා කාමරයක නොවටිනා පහසුකම් සහිතව තමයි දෙමාපියන් ජීවත් වන්නේ.
එහෙම නැතිනම් මහළු නිවෙසක, නේවාසිකාගාරයක මුදල් දී නවත්වනවා. නැතිනම් සේවකයන් හැටියට දෙමාපියන්ට සලකනවා. අම්මා තාත්තා කියන කුසල් නිධිය සුවසේ හාරගන්න දක්‍ෂ නැහැ. නමුත් මේ පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තමාගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ ඒ නිසාම චිත්තවිශුද්ධිය ප්‍රඥ විශුද්ධිය දුර්වලයි, මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
තවත් සමහර පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‌ෂාකරන බෞද්ධ පිංවතුන්. නමුත් මේ අය කථාකළොත් උපන් මව්බිමට බනිනවා. මව්බිමේ දුර්වලතාවයන්මයි දකින්නේ, අගුණයක්‌මයි කියන්නේ. මේ උතුම් මව්බිමේ ස්‌ථාපිතව තිබෙන සද්ධර්මයේ අර්ථය දකින්නේ නැහැ. උපන් මව්බිමේ දුර්වලතාවයන් දකිමින්, කොහේ හෝ වෙනත් රටක්‌ වර්ණනා කරනවා. භික්‌ෂුවට මතකයි වරක්‌ එක්‌ බෞද්ධ තරුණයෙක්‌, රටේ යුද්ධය පැවති අවස්‌ථාවේ කිව්වා, මේ රටෙන් බටහිර රටකට පැනගන්න තිබෙනවා නම්, ඒක තමයි, මම බලාපොරොත්තු වන නිවන කියලා. මේ තරුණයා සිල්පද ආරක්‌සාකරගන්න තරුණයෙක්‌. මේ ලෝක ධාතුව තුළ යම්, උතුම් පුණ්‍ය බිම්කඩක්‌ තිබෙනවා නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට වන්දනා කරන්න, දැකබලා පින් රැස්‌කොට ගන්න, උතුම් පූජාවස්‌තූන්ගෙන් යුත් බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබේනම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතල, බ්‍රහ්මතලවල ජීවත්වන සම්මාදිට්‌ඨියට පත් දෙවියන්, බ්‍රහ්මයන්, නිතිපතා දොහොත්මුදුන් තබා වන්දනා කරන උතුම් බිම්කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබේනම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතලවල, පින පිරිහී, දිව්‍ය ආයුෂ පිරිහීයන දෙවිවරු දිව්‍යාංගනාවන්, නැවත පින් කිරීමට උපත ලැබීමට ප්‍රාර්ථනා කරන උතුම් බිම්කඩක්‌ මේ ලෝක ධාතුව තුළ තිබේ නම්, ඒ උතුම් බිම්කඩ, මේ ධර්මද්වීපයමයි. මෙවන් උතුම් පිංබිමක උපත ලබලා, මව්බිමේ වටිනාකම, නොදැක, ලෝකයේ වෙනත් රටවල් ගොඩක්‌ වර්ණනා කරනවා. ඒ පිංවතුන් වර්ණනාකරන සමහර රටවල ධර්මයේ නිවැරැදි අර්ථයන් නැහැ. මහායාන ක්‍රමවේදයන්ගෙන් පෝෂණය වුණ මිථ්‍යාදෘෂ්ඨික ලක්‌ෂණයි සමහරක්‌ රටවල බහුලව දක්‌නට ලැබෙන්නේ. මෙවැනි රටවලට ප්‍රත්‍යන්ත දේශයක්‌, ධර්මයේ අර්ථයන් නොපිහිටන දේශයන් හැටියටයි බුදුරජාණන්වහන්සේ හඳුන්වන්නේ.
රැකියාවන් සඳහා විදේශ රටවල සේවය කිරීම කියන කාරණය මෙයට අදාල වෙන්නේ නැහැ. මව්බිමේ අගුණයන් දකිමින්, ලෝකයේ අනෙක්‌ රටවල ගුණයන් දකින, පිංවතුන්ලා හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරන පිංවතුන්ලා. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ, තමන් රකින ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණයෙන් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. විදේශගතව සේවය කරන පිංවතුන්ලා, තමන් ජීවත්වන ආගන්තුක රටේ සිටිමින්, උපන් බිමේ උතුම්භාවය නිරතුරුවම නුවනින් දකින්න මේ ලෝකධාතුවේ මනුෂ්‍යයකුට ලබන්න තිබෙන ශ්‍රේෂ්ඨම සැපයක්‌ වන සම්මාදිට්‌ඨියට පත්වීම නැමැති සැපය, විදේශ රටක සිටිමින් වුවද, එවිට ඔබට ලැබිය හැකිවෙනු ඇත.
සමාජයේ ජීවත්වන සමහරක්‌ පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්, හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරනවා. නමුත් මේ අය ජ්‍යෙතිෂ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල්, දේවාල සරණ කොට ගෙනයි ජීවත්වන්නේ. ඇයි මෙහෙම වෙන්නේ, මේ පිංවතුන්ලා ආරක්‌ෂාකරන සීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය. ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට පත්වෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
භික්‌ෂුව මේ වස්‌ සමයේ වැඩසිටින කුටියේ කැපකරුගේ කුඹුරේ අද ගොයම් කපනවා. කළුවර වැටෙන්න ආසන්න මොහොතේ, ගොයම් පාගන මීහරකුන්ට කෑගසන හඬ. ගම්මානය දෙසින් යාන්තමට ඇසෙනවා. මේ ගම්මානවල තවමත් මීහරකුන්ට, ගොවිතැන් කටයුතුවලදී වටිනාකමක්‌ තිබෙනවා. පසුගිය කන්නය අවසානයේදී, ගමේ ගෙදරක හදපු මීහරකෙක්‌ විකුණලා මීහරකා ලොරියට පටවනකොට එයාගේ ඇස්‌වලට කඳුළු ආවලු. මස්‌ කඩේ මුදලාලි මීහරකට රුපියල් හැටදාහක්‌ම ගෙවලා. අකුසලයට කොච්චරනම් වටිනාකමක්‌ තිබෙනවාද. කුඹුරේ පස පෙරළලා, කුඹුර මඩකරලා, ගොයම පාගලා අවුරුද්දක්‌ කන්න වී ටික ගෙදරට ඇදලා දිලා, අවසානයේදී එම සතා මසට විකිණෙනවානම්, පිංවතුන්ලා අකුසලයට කොච්චරනම් බියවෙන්න ඕනේද.
ඉහත සටහන පුරාවට, සම්මාදිට්‌ඨියේ දුර්වලතාවයෙන් ඇතිවෙන විශ්වාසයන් ගැනයි සටහන් කෙළේ. යමෙක්‌ සීලයෙන් පරිපූර්ණ වුවද, ඔහු චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වලනම්, මරණින් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. මෙම කාරණයේදී මරණින් මතු දුකට වැටෙනවාය කියන්නේ, එක්‌කෝ සතර අපායයට වැටෙනවා, නැතිනම් මිථ්‍යාදෘෂ්ඨික, දිව්‍ය මනුෂ්‍ය ජීවිත ලබනවා. එහෙමත් නැතිනම්, කුලහීන භාවයට, අල්පේශාඛ්‍යභාවයට, නූගත් භාවයට පත්වෙනවා, එහෙමත් නැත්නම්, අඳ, ගොළු, බිහිරිභාවයට, විරූපිභාවයට, මන්දබුද්ධිකභාවයට පත්ව, දුප්පත්, පොහොසත් පවුල්වල ඉපදෙන්න පුළුවන්.


මහරහතුන් වැඩි මග ඔස්‌සේ
140 කොටස 

සම්මා දිට්‌ඨිය නමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න

සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරිම පහසු දෙයක්‌. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා. සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක්‌ කර නොගත යුතුයි. සම්මා දිට්‌ඨියෙන් පෝෂණය නොවූ ශීලය, යමෙකුට ආභරණයක්‌ කරගන්න පුළුවන්. එය ඔහුව නොමග යවන අනතුරුදායක ක්‍රියාවක්‌ වෙන්න පුළුවන්.
සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්‌. සමාධියට, ප්‍රඥාවට ගොඩවීම සඳහා වන බලයක්‌.
මෙය සටහන් තබන භික්‍ෂුව යම් මොහොතක උතුම් පැවිදිභාවයට පත්වුණාද, ඒ මොහොතේ පටන් ශීලයට හුඟාක්‌ කැමති කෙනෙක්‌. භික්‍ෂුවගේ ශීලයට දෙවියන් වන්දනා කරනවා කියන කාරණය භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. මේ සටහන් තබන මොහොතේ භික්‍ෂුවට තමන්ගේ ගිහි කාලය මතක්‌වෙනවා. එම ගිහිකාලයේ ශිල්පද රැකීම්වලට වඩා ශිල්පද බිඳීම් වැඩියි. නමුත් ඒ ශිල්පද බිඳීම්වලට සත්ව ඝාතනය, සොරකම, බොරුකීම කොහෙත්ම අයිතිවුණේ නැහැ. නමුත් වර්තමානයේ සිට අතීතයේ ගිහි ජීවිතය දෙස බැලීමේදී, මම වඩාත් ගරුකරන්නේ, රැකුනු ශිල්පදවලට වඩා, බිඳුණු ශිල්පදවලටයි. බිඳුණු ශිල්පද නිසාමයි, මම ගිහි ජීවිතයේදී කාමයන්ගේ ආදීනවයන් අත්දැකීම් තුළින්ම අවබෝධ කරගත්තේ. එසේ නොවුණා නම් තවමත් මම සදාචාරයේ නාමයෙන් අඳුරේ අතපතගාන මනුෂ්‍යයෙක්‌.
ගිහි ජීවිතයේදී මට හැකියාවක්‌ තිබුණා, ශිල්පදයක්‌ බිඳිමින්, බිඳුණු ශිල්පද මත හිඳිමින්, බිඳුණු ශිල්පදය විදර්ශනා නුවණින් දකින්න. කිසිදු ගුරු උපදේශවකින් තොරවයි එය සිදුවුණේ. එය මම සංසාරයේ ලබපු පුහුණුවක්‌. මම සංසාරයේ ශක්‌තිමත් තැනකින් නතරකොට තිබෙනවා. ඒ අතීත සංසාරයේ පුරුද්දයි මම ගිහි ජීවිතයේදී මතුකරගත්තේ. නමුත් පිංවත් ඔබ ඉහත කාරණාව අදාළ කරගන්න යන්න එපා. එය ඔබට අනතුරුදායක ක්‍රියාවක්‌ වේවි. මොකද අපි එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩී ඇති ආකාරය වෙනස්‌. එමනිසා වර්තමානයේ පිංවත් ඔබ සම්මා දිට්‌ඨිය නමැති නිවැරදි දොරටුවෙන් නිවන් මාර්ගයට ඇතුළුවී, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්‌තිමත් කොටගන්න. එවිට ක්‍රමානුකූලව ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කරලා දේවී.
පිංවත් ඔබ කෑම මේසයේ වාඩිවෙලා, බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැන්දක්‌ පමණක්‌ බෙදාගෙන හැමදාම අනුභව කළොත් කවදාවත් පිංවත් ඔබට බෝංචි ව්‍යංජනය එපාවෙන්නේ නැහැ. අප්‍රිය වෙන්නේ නැහැ. නමුත් කෑම මේසයේදී ඔබේ බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැඳි පහක්‌ හයක්‌ බෙදාගෙන අනුභව කළොත්, බොහොම ඉක්‌මනින් ඔබට බෝංචි එපාවෙනවා. අප්‍රිය වෙනවා. ඉහත බෝංචි ව්‍යංජනයේ කථාව අවසානයට මෙහි සටහන් කළේ, පිංවත් ඔබට විවේකීව ගොඩක්‌ දේවල් ධර්මානුකූලව සිතන්නයි.
මම නම් ගිහිකාලේ කොයි දෙයත් නුවණින් දකිමින්, චපල තෘෂ්ණාවේ ගුණමකුබව හඳුනාගනිමින්, වැඩිපුර අනුභව කරපු කෙනෙක්‌. ඒ නිසාමයි රසයන්ට අදාළ සියල්ල එපාවුණේ. සංහිඳී ගියේ. මේ සටහන් තබන භික්‍ෂුව රැඩිකල් භික්‍ෂුවක්‌. රැඩිකල් කියන වචනය භික්‍ෂුවකට සුදුසු නොවෙන්න පුළුවන්. එහෙත් මොනයම් නුසුදුසු වචනයක්‌ වුවද, ඒ වචනය ධර්මයෙන් පෝෂණය වී ඇතිනම්, වචනයකට අපි බයවිය යුතු නැහැ. රැඩිකල් කියන වචනය භික්‍ෂුව පාවිච්චි කළේ සම්මතයෙන් පිට යමින්, සම්මතය තුළ ශක්‌තිමත් වූ භික්‍ෂුවක්‌ නිසයි. ගිහි ජීවිතයේදී, අත්‍යවශ්‍ය මොහොතක ශිල්පද බිඳිමින්, ශීලයෙන් පරිපූර්ණ පැවිද්දක්‌ ලැබූ භික්‍ෂුවක්‌ නිසයි. ජීවිතය මරණයට දමමින්, පංච උපාදානස්‌කන්ධයට ඇති තෘෂ්ණාව සිඳලු භික්‍ෂුවක්‌, අකුසලය විදර්ශනා නුවණින් දැක, කුසලය මතුකොටගනිමින්, කුසලයත්, අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් දැක්‌ක භික්‍ෂුවක්‌, ගිහි ජීවිතය තුළදීම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අත්දැක්‌ක භික්‍ෂුවක්‌ නිසයි. 

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ