137 කොටස
.jpg)
138 කොටස
ශීලයෙන් පරිපූර්ණ වූ පමණින් භවයේ සුරක්‍ෂිත වේද?
භික්‌ෂුව ගම්මානයකක වැඩ සිටිනකොට, එම ගමේ එක් කණ්‌ඩායමක් කිසිම දිනක පිණ්‌ඩපාත මඩුවට පිණ්‌ඩපාතය ගෙනාවේ නැහැ. ඒ ගැන ගමේ කැපකරුගෙන් විමසනකොට ඒ මහත්තයා කියනවා 'හාමුදුරුවෝ ගමේ කුළයෙන් අඩු අයගේ පිණ්‌ඩපාතය පිළිගන්න නිසා ඒ අය පිණ්‌ඩපාතය පූජාකරන්නේ නැහැ' කියලා. මේ කණ්‌ඩායමට කුළයෙන් උසස් අය කියලයි කියන්නේ. මේ කණ්‌ඩායම ගමේ පන්සලට දානෙ පුජාකරන්නෙත් නැහැ. ගමෙන් පිට, නගරයේ තෝරාගත් පන්සලකට තමයි දානය පූජා කරන්නේ. නමුත් මේ පිංවතුන්ලා ශිල්පද පහ හොඳින් ආරක්‍ෂාකරගන්නා පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම සම්මා සංකප්පයන් වැඩිලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය වැඩිලා නැහැ. මෙවැනි අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.සමහර පිංවතුන් සිටිනවා, ඒ අය ශිල්පද පහ ආරක්‍ෂාකරගන්නවා. බෞද්ධ පිංවතුන්. නමුත් ඒ අය මහා සංඝරත්නයට දානය පූජාකරන්නේ නැහැ. මහාසංඝරත්නය උදෙසා පූජාකරන දානයේ ආනිසංශ පක්‍ෂය දන්නේ නැහැ. සමහර පිංවතුන්ලා ස්‌වාමීන්වහන්සේලාව අඩු තක්‌සේරුවට ලක්‌කරනවා. එම පිංවතුන්ලා මහළු නිවාස වලට, ළමා නිවාස වලට, රෝහල්වල රෝගීන්ට, දුගී මගී අයට තමයි දන්දෙන්නේ. මේ අයට දන්දෙන්න එපාය කියන එක නෙවෙයි මේ කියන්නේ. මහා සංඝරත්නය අරමුණුකොට පූජාකරන දානයේ අග්‍රභාවය අපි දකින්න අවශ්‍යයි. වර්තමාන සංඝ සමාජයේ යම් ස්‌වාමීන්වහන්සේනමකගේ දුර්වලතාවයක් තිබුණොත්, මහා සංඝරත්නය අරමුණුකොට එම හිස්‌තැන් පුරවාගැනීමට අපි දක්‍ෂවෙන්න ඕනේ. නමුත් එසේ නොවන්නේ මේ පිංවතුන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විමුක්‌තිය වැඩිලා නැහැ. මේ අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
වර්තමාන සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්ලා හොඳින් ශිල්පද ආරක්‍ෂා කරනවා, දන්දෙනවා, අනුනට කරදරයක් නොවී යහපත් ජීවිත ගතකරනවා. ඉහත කාරණා තුළින් පමණක් තමන් ධර්මය තුළ සිටිනවාය කියලා සතුටු වෙනවා. එම පිංවතුන් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ගැන දන්නේ නැහැ. සම්මා දිට්‌ඨිය කියන්නේ මොකක්‌ද කියලා ඇහුවොත් 'දන්නේ නැහැ' කියනවා. සම්මා වායාමෝ කියන්නේ කුමකටද කියලා ඇහුවොත් 'දිනපතා ව්‍යායාම කිරීම' කියලයි කියන්නේ. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, යමෙක් ශිල්පද පහ ආරක්‍ෂා කරගත්තාය කියලා, දන් දුන්නාය කියලා, ඔහු බෞද්ධයෙක් වෙන්නේ නැහැය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ බෞද්ධයා කියන්නේ, ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අර්ථයන් ජීවිතයට එකතුකොටගෙන, මාර්ගයේ ගමන්කරන පිංවතාය කියලා. ඇයි ඉහත සඳහන් කළ තත්ත්වයන්ට පිංවතුන්ලා පත්වෙන්නේ. තමන්ගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැති නිසා. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මේ අය මරණින් මතු දුකට වැටේය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් ආර්ය අශ්ඨාංගික මාර්ගය ගැන උනන්දුවක් දක්‌වන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය කාන්ත ශීලය, පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන උනන්දුවක් දක්‌වන්නේ නැහැ. මේ පිංවතුන් සතියකින් දෙකකින් මාසයකින් යුත් පාඨමාලාවකින් අනුනට ලිත සහතිකයකින් සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ප්‍රදානය කරනවා. ඇයි සමාජය තුළ මෙහෙම වෙන්නේ? එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂනය වෙලා නැහැ. ඒ නිසාම එම පිංවතුන් තුළ චිත්ත විශුද්ධිය, ප්‍රඥා විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවදානම තිබෙනවා කියලා බුදුරජාණන්ව වහන්සේ දේශනා කරනවා.
139 කොටස
චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වල නම්...
සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා. ඒ අය හොඳින් සිල් පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් මේ අය ප්‍රකාශ කරන්නේ, අපට නොපෙනෙන අනෙක් ග්‍රහලෝකවල මේ මොහොතේත් බුදුරජාණන්වහන්සේලා වැඩ සිටිනවා කියලා. මේ මොහොතේත් කොහේ හෝ ග්‍රහලෝකයක බුදුරජාණන් වහන්සේ නමක් සද්ධර්මය දේශනා කරනවා කියලා. අපි සියලු දෙනාම යම් දවසක නිවන් අවබෝධ කරගන්නේ බුද්ධත්වයට පත්වෙලාය කියලා. ඒ නිසාම අපි සියල්ලෝම බෝධිසත්වයෝය කියලා. මෙවැනි විකාර ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැහැ. ඇයි මෙවැනි අදහස් සමාජය තුළ පැතිරෙන්නේ. එම පිංවතුන්ලා ශීලයෙහි පරිපූර්ණ වුවත් එම ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වී නැති නිසා. එම නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය වැඩිලා නැහැ. එම පිංවතුන් මරණීන් මතු දුකට වැටේය. කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.සමාජයේ සමහරක් පිංවතුන්ලා සිටිනවා, ඒ අය හොඳින් ශිල්පද පහ ආරක්‍ෂා කරනවා. නමුත් තමන්ගේ අම්මාට තාත්තට සලකන්නේ නැහැ. ගෙදර නොවටිනා කාමරයක නොවටිනා පහසුකම් සහිතව තමයි දෙමාපියන් ජීවත් වන්නේ.
එහෙම නැතිනම් මහළු නිවෙසක, නේවාසිකාගාරයක මුදල් දී නවත්වනවා. නැතිනම් සේවකයන් හැටියට දෙමාපියන්ට සලකනවා. අම්මා තාත්තා කියන කුසල් නිධිය සුවසේ හාරගන්න දක්‍ෂ නැහැ. නමුත් මේ පිංවතුන් ශීලයෙන් පරිපූර්ණ පිංවතුන්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. තමාගේ ශීලය සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ ඒ නිසාම චිත්තවිශුද්ධිය ප්‍රඥ විශුද්ධිය දුර්වලයි, මෙවැනි අය මරණින් මතු දුකට වැටීමේ අවධානම තිබෙනවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
තවත් සමහර පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්ෂාකරන බෞද්ධ පිංවතුන්. නමුත් මේ අය කථාකළොත් උපන් මව්බිමට බනිනවා. මව්බිමේ දුර්වලතාවයන්මයි දකින්නේ, අගුණයක්‌මයි කියන්නේ. මේ උතුම් මව්බිමේ ස්‌ථාපිතව තිබෙන සද්ධර්මයේ අර්ථය දකින්නේ නැහැ. උපන් මව්බිමේ දුර්වලතාවයන් දකිමින්, කොහේ හෝ වෙනත් රටක් වර්ණනා කරනවා. භික්‌ෂුවට මතකයි වරක් එක් බෞද්ධ තරුණයෙක්, රටේ යුද්ධය පැවති අවස්‌ථාවේ කිව්වා, මේ රටෙන් බටහිර රටකට පැනගන්න තිබෙනවා නම්, ඒක තමයි, මම බලාපොරොත්තු වන නිවන කියලා. මේ තරුණයා සිල්පද ආරක්‌සාකරගන්න තරුණයෙක්. මේ ලෝක ධාතුව තුළ යම්, උතුම් පුණ්‍ය බිම්කඩක් තිබෙනවා නම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට වන්දනා කරන්න, දැකබලා පින් රැස්‌කොට ගන්න, උතුම් පූජාවස්‌තූන්ගෙන් යුත් බිම්කඩක් මේ ලෝකධාතුව තුළ තිබේනම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතල, බ්‍රහ්මතලවල ජීවත්වන සම්මාදිට්‌ඨියට පත් දෙවියන්, බ්‍රහ්මයන්, නිතිපතා දොහොත්මුදුන් තබා වන්දනා කරන උතුම් බිම්කඩක් මේ ලෝක ධාතුව තුළ තිබේනම්, ඒ උතුම් බිම්කඩ මේ ධර්මද්වීපයමයි. දිව්‍යතලවල, පින පිරිහී, දිව්‍ය ආයුෂ පිරිහීයන දෙවිවරු දිව්‍යාංගනාවන්, නැවත පින් කිරීමට උපත ලැබීමට ප්‍රාර්ථනා කරන උතුම් බිම්කඩක් මේ ලෝක ධාතුව තුළ තිබේ නම්, ඒ උතුම් බිම්කඩ, මේ ධර්මද්වීපයමයි. මෙවන් උතුම් පිංබිමක උපත ලබලා, මව්බිමේ වටිනාකම, නොදැක, ලෝකයේ වෙනත් රටවල් ගොඩක් වර්ණනා කරනවා. ඒ පිංවතුන් වර්ණනාකරන සමහර රටවල ධර්මයේ නිවැරැදි අර්ථයන් නැහැ. මහායාන ක්‍රමවේදයන්ගෙන් පෝෂණය වුණ මිථ්‍යාදෘෂ්ඨික ලක්‌ෂණයි සමහරක් රටවල බහුලව දක්‌නට ලැබෙන්නේ. මෙවැනි රටවලට ප්‍රත්‍යන්ත දේශයක්, ධර්මයේ අර්ථයන් නොපිහිටන දේශයන් හැටියටයි බුදුරජාණන්වහන්සේ හඳුන්වන්නේ.
රැකියාවන් සඳහා විදේශ රටවල සේවය කිරීම කියන කාරණය මෙයට අදාල වෙන්නේ නැහැ. මව්බිමේ අගුණයන් දකිමින්, ලෝකයේ අනෙක් රටවල ගුණයන් දකින, පිංවතුන්ලා හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරන පිංවතුන්ලා. ඇයි මෙහෙම වෙලා තිබෙන්නේ, තමන් රකින ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය, ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණයෙන් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. විදේශගතව සේවය කරන පිංවතුන්ලා, තමන් ජීවත්වන ආගන්තුක රටේ සිටිමින්, උපන් බිමේ උතුම්භාවය නිරතුරුවම නුවනින් දකින්න මේ ලෝකධාතුවේ මනුෂ්‍යයකුට ලබන්න තිබෙන ශ්‍රේෂ්ඨම සැපයක් වන සම්මාදිට්‌ඨියට පත්වීම නැමැති සැපය, විදේශ රටක සිටිමින් වුවද, එවිට ඔබට ලැබිය හැකිවෙනු ඇත.
සමාජයේ ජීවත්වන සමහරක් පිංවතුන්ලා සිටිනවා, එම පිංවතුන්, හොඳින් සිල්පද පහ ආරක්‌ෂාකරනවා. නමුත් මේ අය ජ්‍යෙතිෂ, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලිතොවිල්, දේවාල සරණ කොට ගෙනයි ජීවත්වන්නේ. ඇයි මෙහෙම වෙන්නේ, මේ පිංවතුන්ලා ආරක්‌ෂාකරන සීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය. ප්‍රඥ විශුද්ධිය දුර්වලයි. මෙවැනි අය මරණින් මතු දුකට පත්වෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
භික්‌ෂුව මේ වස් සමයේ වැඩසිටින කුටියේ කැපකරුගේ කුඹුරේ අද ගොයම් කපනවා. කළුවර වැටෙන්න ආසන්න මොහොතේ, ගොයම් පාගන මීහරකුන්ට කෑගසන හඬ. ගම්මානය දෙසින් යාන්තමට ඇසෙනවා. මේ ගම්මානවල තවමත් මීහරකුන්ට, ගොවිතැන් කටයුතුවලදී වටිනාකමක් තිබෙනවා. පසුගිය කන්නය අවසානයේදී, ගමේ ගෙදරක හදපු මීහරකෙක් විකුණලා මීහරකා ලොරියට පටවනකොට එයාගේ ඇස්‌වලට කඳුළු ආවලු. මස් කඩේ මුදලාලි මීහරකට රුපියල් හැටදාහක්‌ම ගෙවලා. අකුසලයට කොච්චරනම් වටිනාකමක් තිබෙනවාද. කුඹුරේ පස පෙරළලා, කුඹුර මඩකරලා, ගොයම පාගලා අවුරුද්දක් කන්න වී ටික ගෙදරට ඇදලා දිලා, අවසානයේදී එම සතා මසට විකිණෙනවානම්, පිංවතුන්ලා අකුසලයට කොච්චරනම් බියවෙන්න ඕනේද.
ඉහත සටහන පුරාවට, සම්මාදිට්‌ඨියේ දුර්වලතාවයෙන් ඇතිවෙන විශ්වාසයන් ගැනයි සටහන් කෙළේ. යමෙක් සීලයෙන් පරිපූර්ණ වුවද, ඔහු චිත්ත විශුද්ධියෙන්, ප්‍රඥ විශුද්ධියෙන් දුර්වලනම්, මරණින් මතු දුකට වැටෙයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකරනවා. මෙම කාරණයේදී මරණින් මතු දුකට වැටෙනවාය කියන්නේ, එක්‌කෝ සතර අපායයට වැටෙනවා, නැතිනම් මිථ්‍යාදෘෂ්ඨික, දිව්‍ය මනුෂ්‍ය ජීවිත ලබනවා. එහෙමත් නැතිනම්, කුලහීන භාවයට, අල්පේශාඛ්‍යභාවයට, නූගත් භාවයට පත්වෙනවා, එහෙමත් නැත්නම්, අඳ, ගොළු, බිහිරිභාවයට, විරූපිභාවයට, මන්දබුද්ධිකභාවයට පත්ව, දුප්පත්, පොහොසත් පවුල්වල ඉපදෙන්න පුළුවන්.
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
140 කොටස
සම්මා දිට්‌ඨිය නමැති නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්න
සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වූ ශීලය පිංවතුන්ලාට හරිම පහසු දෙයක්. පිංවත් ඔබගේ ජීවිතය සරල කරනවා. සැහැල්ලු කරනවා. ශීලය අපි ආභරණයක් කර නොගත යුතුයි. සම්මා දිට්‌ඨියෙන් පෝෂණය නොවූ ශීලය, යමෙකුට ආභරණයක් කරගන්න පුළුවන්. එය ඔහුව නොමග යවන අනතුරුදායක ක්‍රියාවක් වෙන්න පුළුවන්.සම්මා දිට්‌ඨියෙන් පෝෂණය වුණු ශීලය කියන්නේ බලයක්. සමාධියට, ප්‍රඥාවට ගොඩවීම සඳහා වන බලයක්.
මෙය සටහන් තබන භික්‍ෂුව යම් මොහොතක උතුම් පැවිදිභාවයට පත්වුණාද, ඒ මොහොතේ පටන් ශීලයට හුඟාක් කැමති කෙනෙක්. භික්‍ෂුවගේ ශීලයට දෙවියන් වන්දනා කරනවා කියන කාරණය භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. මේ සටහන් තබන මොහොතේ භික්‍ෂුවට තමන්ගේ ගිහි කාලය මතක්‌වෙනවා. එම ගිහිකාලයේ ශිල්පද රැකීම්වලට වඩා ශිල්පද බිඳීම් වැඩියි. නමුත් ඒ ශිල්පද බිඳීම්වලට සත්ව ඝාතනය, සොරකම, බොරුකීම කොහෙත්ම අයිතිවුණේ නැහැ. නමුත් වර්තමානයේ සිට අතීතයේ ගිහි ජීවිතය දෙස බැලීමේදී, මම වඩාත් ගරුකරන්නේ, රැකුනු ශිල්පදවලට වඩා, බිඳුණු ශිල්පදවලටයි. බිඳුණු ශිල්පද නිසාමයි, මම ගිහි ජීවිතයේදී කාමයන්ගේ ආදීනවයන් අත්දැකීම් තුළින්ම අවබෝධ කරගත්තේ. එසේ නොවුණා නම් තවමත් මම සදාචාරයේ නාමයෙන් අඳුරේ අතපතගාන මනුෂ්‍යයෙක්.
ගිහි ජීවිතයේදී මට හැකියාවක් තිබුණා, ශිල්පදයක් බිඳිමින්, බිඳුණු ශිල්පද මත හිඳිමින්, බිඳුණු ශිල්පදය විදර්ශනා නුවණින් දකින්න. කිසිදු ගුරු උපදේශවකින් තොරවයි එය සිදුවුණේ. එය මම සංසාරයේ ලබපු පුහුණුවක්. මම සංසාරයේ ශක්‌තිමත් තැනකින් නතරකොට තිබෙනවා. ඒ අතීත සංසාරයේ පුරුද්දයි මම ගිහි ජීවිතයේදී මතුකරගත්තේ. නමුත් පිංවත් ඔබ ඉහත කාරණාව අදාළ කරගන්න යන්න එපා. එය ඔබට අනතුරුදායක ක්‍රියාවක් වේවි. මොකද අපි එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩී ඇති ආකාරය වෙනස්. එමනිසා වර්තමානයේ පිංවත් ඔබ සම්මා දිට්‌ඨිය නමැති නිවැරදි දොරටුවෙන් නිවන් මාර්ගයට ඇතුළුවී, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්‌තිමත් කොටගන්න. එවිට ක්‍රමානුකූලව ඔබේ ඉන්ද්‍රිය ධර්මයන් තියුණු කරලා දේවී.
පිංවත් ඔබ කෑම මේසයේ වාඩිවෙලා, බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැන්දක් පමණක් බෙදාගෙන හැමදාම අනුභව කළොත් කවදාවත් පිංවත් ඔබට බෝංචි ව්‍යංජනය එපාවෙන්නේ නැහැ. අප්‍රිය වෙන්නේ නැහැ. නමුත් කෑම මේසයේදී ඔබේ බත් පිඟානට බෝංචි ව්‍යංජනයෙන් හැඳි පහක් හයක් බෙදාගෙන අනුභව කළොත්, බොහොම ඉක්‌මනින් ඔබට බෝංචි එපාවෙනවා. අප්‍රිය වෙනවා. ඉහත බෝංචි ව්‍යංජනයේ කථාව අවසානයට මෙහි සටහන් කළේ, පිංවත් ඔබට විවේකීව ගොඩක් දේවල් ධර්මානුකූලව සිතන්නයි.
මම නම් ගිහිකාලේ කොයි දෙයත් නුවණින් දකිමින්, චපල තෘෂ්ණාවේ ගුණමකුබව හඳුනාගනිමින්, වැඩිපුර අනුභව කරපු කෙනෙක්. ඒ නිසාමයි රසයන්ට අදාළ සියල්ල එපාවුණේ. සංහිඳී ගියේ. මේ සටහන් තබන භික්‍ෂුව රැඩිකල් භික්‍ෂුවක්. රැඩිකල් කියන වචනය භික්‍ෂුවකට සුදුසු නොවෙන්න පුළුවන්. එහෙත් මොනයම් නුසුදුසු වචනයක් වුවද, ඒ වචනය ධර්මයෙන් පෝෂණය වී ඇතිනම්, වචනයකට අපි බයවිය යුතු නැහැ. රැඩිකල් කියන වචනය භික්‍ෂුව පාවිච්චි කළේ සම්මතයෙන් පිට යමින්, සම්මතය තුළ ශක්‌තිමත් වූ භික්‍ෂුවක් නිසයි. ගිහි ජීවිතයේදී, අත්‍යවශ්‍ය මොහොතක ශිල්පද බිඳිමින්, ශීලයෙන් පරිපූර්ණ පැවිද්දක් ලැබූ භික්‍ෂුවක් නිසයි. ජීවිතය මරණයට දමමින්, පංච උපාදානස්‌කන්ධයට ඇති තෘෂ්ණාව සිඳලු භික්‍ෂුවක්, අකුසලය විදර්ශනා නුවණින් දැක, කුසලය මතුකොටගනිමින්, කුසලයත්, අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් දැක්‌ක භික්‍ෂුවක්, ගිහි ජීවිතය තුළදීම පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය අත්දැක්‌ක භික්‍ෂුවක් නිසයි.
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......




