පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

භාවනාවට පෙර - මෙසේ කළ යුතුමය (සබ්භාසව සූත්‍රය -1)

මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
(සතර සතිපට්‌ඨානය සඳහා ප්‍රවේශය)

අපිරිසිදු වුණු ළිඳක්‌ තියෙනවා. එම ළිඳෙහි පස්‌, මඩ, කොළරොඩු පිරිලා. පිංවතෙක්‌ මේ ළිඳ පිරිසිදු කිරීමේ අරමුණින් ඉසිනවා. නමුත් ඔහු ළිං පතුළේ ඇති පස්‌, මඩ, කොළරොඩු ඉවත් කරන්නේ නැහැ. ඒ හේතුව නිසාම, තාවකාලිකව ළිඳේ ජලය පිරිසිදු වුණත්, මොහොතකින් ජලය අපිරිසිදු වෙනවා. ආශ්‍රවයන්, කෙළෙස්‌ ධර්මයන් තැන්පත්වූ සන්තානයක, එම අපිරිසිදු ආශ්‍රවයන් ක්‍රමානුකූලව ඉවත් කරගැනීමෙන් තොරව, යම් පිංවතෙක්‌ සමථ, විදර්ශනා භාවනාවන්ට යොමුවුණොත්, මොහොතක ආශ්වාදයක්‌ ලැබුවත්, ඉක්‌මනින් හිත විසිරී යනවා. එයත් හරියට අපිළිවෙලට පිරිසිදු කළ ළිඳ වගේ. පිංවත් ඔබට, සමථ විදර්ශනා භාවනාවන් වැඩීමට පෙර එදිනෙදා ජීවිතයේදී ආශ්‍රවයන් හීන කරගන්නා කාරණා හයක්‌ සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එම කාරණා හය වන්නේ දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, සංවරයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ප්‍රත්‍යාවේක්‍ෂයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඉවසීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, මගහැරයැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, දුරුකිරීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් කියලා. මේ කාරණා හයට පසුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන සඳහන් කරන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක ධර්මයන්, ඒ කියන්නේ ඉපදීම- මරණය, කුසලය- අකුසලය, සුගතිය-දුගතිය, දුප්පත්-පොහොසත්බව, තෙරුවන්ගේ පහළවීම ගැන නුවණින් මෙනෙහි කිරීමට අදක්‍ෂ පුද්ගලයා තුළ නූපන්නා වූ ආශ්‍රවයන් උපදිනවාය කියලා. ඉපදුනාවූ ආශ්‍රවයන් වැඩෙනවාය කියලා. යම් පිංවතෙක්‌ ලෝක ධර්මයන් නුවණින් මෙනෙහි කරමින් යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවත්වෙන්නේ නම්, ඔහු දුක දෙය දුක වශයෙන් දැනගන්නවා. අසුබ දෙය අසුබ වශයෙන් දැනගන්නවා. අනිත්‍ය දෙය අනිත්‍ය වශයෙන් දැනගන්නවා. අනාත්ම දෙය අනාත්ම වශයෙන් දැනගන්නවා කියලා. මේ හේතුවෙන් අවිද්‍යාව මෝදුකොට දෙන ආශ්‍රවයන්ට ඔබ තුළින් නැගී සිටීමට ඇති අවස්‌ථාව හීන වෙනවා. බුදුරජාණන් වහන්සේ සබ්භාසව සූත්‍රයට අදාළව දේශනාකොට ඇති කාරණා හයෙන් පිංවත් ඔබ සිත පිරිසිදුභාවයට පත්කර නොගෙන සමථ විදර්ශනා භාවනා වැඩීමට ගියොත්, කෙටි ආශ්වාදයක්‌ සහ විසිරුණු සිතක උරුමය පමණයි ඔබට හිමිවන්නේ.
සමහරක්‌ භාවනා කරන පිංවතුන්, නිරතුරුවම අසන ප්‍රශ්නයක්‌ තමයි 'ස්‌වාමීන්වහන්ස, භාවනා කිරීමේදී නිතර සිත විසිරෙනවා. කුමක්‌ද ඊට කරන්නේ' කියලා. ඊට කළ යුතු ප්‍රතිකර්මය තමයි සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ.

එම නිසා පිංවත් ඔබ, සමථ විදර්ශනා භාවනා වැඩීමට පෙරාතුව පූර්වකෘත්‍යයක්‌ ලෙස ඉහත කාරණා හය ජීවිතයට එකතු කරගන්න.

1. සබ්භාසව සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරන මුල්ම කාරණය තමයි, දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්‍රහානය වෙන ආශ්‍රවයන්. දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ඔබ සම්පූර්ණයෙන්ම ප්‍රහානය කොට දමන්නේ සෝවාන් ඵලයට පත්වෙන මොහොතෙයි. එතෙක්‌ 'මම'ය කියලා ගත්තා වූ දැඩි දෘෂ්ටිය නිසා පටිච්ඡ සමුප්පාද ධර්මයන්ගෙන් බැහැරව ආත්මීය දෘෂ්ටියෙන් ජීවිතය දකිනවා. 'මා තුළ ආත්මයක්‌ තිබෙනවා. එම ආත්මය තුළ මම සිටිනවා. මම ගිය ජීවිතයේදී සිටියා. මරණයෙන් මතු මම සිටිනවා. අසනීපයකදී, දුකකදී, සතුටකදී මා තුළ දුක්‌, සැප විඳිනා කෙනෙක්‌ සිටිනා බව දකිනවා. රූපය තුළ, වේදනාව, සංඥාව, ෙච්තනාව, විඥානය තුළ මම සිටිනවා කියලා දකිනවා. මේ නිසාම රූපය මගේකොටගෙන වේදනාවක්‌ ඇතිකොටගන්නවා. වේදනාව මගේ කොටගෙන සංඥාවක්‌ ඇතිකරගන්නවා. සංඥාව මගේ කොටගෙන ෙච්තනාවක්‌ ඇති කරගන්නවා. ෙච්තනාව මගේ කොටගෙන විඤාණය ඇතිකොටගන්නවා. ඒ නිසාම භවයට ගලාගෙන යන ආශ්‍රවයන් ඔබ ඇතිකොට ගන්නවා. 
දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් යටතේ සක්‌කායදිට්‌ඨිය නැතිකොට ගැනීමට කැමති පිංවතා නිරතුරුවම පංචඋපදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනවා. ඔහු මුලින්ම මමය කියලා ගත්තාවූ රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනවා. රෝගයන්ට, ව්‍යාධීන්ට මරණයන්ට තෝතැන්නක්‌ වූ රූපය දෑස්‌ පියාගෙන හිඳිමින් පුපුරා යන සැරව ගෙඩියක්‌ සේ දකිනවා. ඔහු තම රූපය අසූචි පිරවූ කළයක්‌ වශයෙන් දකිනවා. ඔහු තම රූපය කුණුවී යන මස්‌ගොඩක්‌ වශයෙන් දකිනවා. මෙවැනි උපක්‍රම තුළින් රූපය තුළ මම, මම තුළ රූපය, රූපය තුළ ආත්මයත්, ආත්මය තුළ රූපයත් තිබෙනවාය කියන දෘෂ්ටියේ නිරුවත හෙළිකොට ගන්නවා. තම රූපය තුළින් නිරතුරුවම ළදරුවෙක්‌, ලෙඩෙක්‌, මහල්ලෙක්‌, මළකඳක්‌ මතුකොට දකින්න ඔබ දක්‍ෂ නම් ඔබේ මියගිය ඥාතියාගේ රූපය ඔබේ පවුලේ සුසානභූමියේ පසත් සමග සංසන්aදනාත්මක දැකීමට ඔබ දක්‍ෂ නම්, ඒ දක්‍ෂභාවය ඇතිකොටගන්නා මොහොතක්‌ පාසා, සක්‌කායදිට්‌ඨියට ඔබ අභියෝග කළා වෙනවා. පිංවත් ඔබ මේ සියල්ල සිදුකරන්නේ නුවණින් මෙනෙහි කිරීමෙන්. තවම ඔබ එරමිනියා ගොතාගෙන භාවනාවට වාඩිවෙලා නැහැ. විවේකීව සිටින සෑම මොහොතකම, කැමති ඉරියව්වකින්, ඉහත කාරණාව නුවණින් දකින්න. 

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
(සබ්භාසව සූත්‍රය -2)
වේදනාවත් සංඥාවත් හඳුනාගන්න
(සතර සතිපට්‌ඨානය සඳහා ප්‍රවේශය)


චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා, කුසල් අකුසල් සංස්‌කාරයන් රැස්‌වන හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් නිසා විඤ්ඤාණය සකස්‌වන හැටි නුවණින් දකින්න. විඤ්ඤාණය හේතුවෙන් නාම රූප සකස්‌වන හැටි නුවණින් දකින්න. නාමරූප හේතුවෙන් සලායතන සකස්‌වන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබේ රූපයට හිත යොමුකරලා, රූපයේ ඉපදීමට මූලික හේතුව අවිද්‍යාව වශයෙන් දකින්න. දෑස්‌ පියාගෙන ඔබේ රූපය තුළින් අවිද්‍යාවේ අඳුර දකින්න.
අවිද්‍යාව නිරෝධය කළ තැනදී, සංස්‌කාර නිරෝධය වන සැටිත්, සංස්‌කාර නිරෝධය කළ තැනදී විඤ්ඤාණය නිරෝධය වන සැටිත්, විඤ්ඤාණය නිරෝධය කළ තැනදී නාම රූප නිරෝධය වන සැටිත්, නාම රූප නිරෝධය කළ තැනදී සලායතන නිරෝධය වන සැටිත් නුවණින් දකිමින් ජීවත්වෙන්න. දර නිසාම ඇවිළෙන ගිනිගොඩක්‌ සිහියට නගාගෙන, ගිනිගොඩේ දර ඉවරවීම නිසා ගිනිගොඩ තුළින්ම ගින්දර නිවීයන හැටි නුවණින් දකිමින් 'සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ' කියන ධර්මතාවය නුවණින් දකින්න. විඤ්ඤාණයේ බැසගැනීමෙන් සකස්‌වෙන, මව්කුසේ කලල රූපයට සිත යොමුකරමින්, ක්‍රමාණුකූලව මරණය කරා යන ජීවිතය, උපාදානය හේතුවෙන් නැවත භවය සකස්‌කොටගන්නා හැටි නුවණින් දකින්න. මේ උපක්‍රමශීලී නුවණින් දැකීම, රූපය කෙරෙහි සක්‌කාය දිට්‌ඨිය සිඳගැනීම සඳහාමය. මෙසේ පටිච්ජසමුප්පන්නව ඔබේ ජීවිතය දකිනකොට, රූපය තුළ මම සිටිනවාය, රූපය තුළ ආත්aමයක්‌ තිබෙනවාය කියන දෘශ්çන් ප්‍රහීනය වෙලා යනවා.
මීළඟට පංචඋපාදානස්‌කන්ධයට අදාළව වේදනාව කියන ධර්මතාවය නුවණින් දකින්න. වේදනාව යනු ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන ඵලයයි. හේතුඵල ධර්මයන් වශයෙන් වේදනාව ඔබ නොදකින නිසාම, වේදනාව තුළ මම සිටිනවාය, මා තුළ විඳින කෙනෙක්‌ සිටිනවාය, වේදනාව තුළ ආත්මයක්‌ තිබෙනවාය, ඒ ආත්මය තුළ මම සිටිනවාය කියලා සිතනවා. ඒ නිසාම නිරතුරුවම ඵස්‌සය හේතුවෙන් සකස්‌වෙන සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමකම ඔබ බැඳී යනවා. පිංවත් ඔබ අතීතයේ අත්විඳි සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමක්‌ම මතකයට නගාගෙන, ඒ සෑම විඳීමකම අනිත්‍යභාවය නුවණින් දකින්න. ජීවිතය තිබෙන්නට හැර වේදනාව හිස්‌ කරන්න.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අහසේ නන්වැදෑරුම් සුළං හමනවා. පෙරදිග සුළං, පෑළදිග සුළං, උතුරුදිග සුළං, දකුණු දිග සුළං, දුහුවිලි සුළං, උණුසුම් සුළං, සිසිල් සුළං... කියලා. එලෙසින් මේ සිරුරේද නන්වැදෑරුම් දුක්‌, සැප, උපේක්‍ෂා වේදනාවන් ඇතිවෙනවා කියලා.
ඔබ අත්විඳින සෑම සැප, දුක්‌, උපේක්‍ෂා විඳීමකම ඵස්‌ස පච්ඡයා වේදනා, ඵස්‌ස නිරෝධා වේදනා නිරෝධෝ කියන ධර්මථාවයන් සිsහියට නගාගන්න. වේදනාව හිස්‌ දෙයක්‌, අනිත්‍ය වූ දෙයක්‌, අනාත්ම වූ දෙයක්‌ බව නුවණින් දකින්න. අන්‍යයන්ගේ ජීවිත වලටත් මේ ධර්මතාවයන් ගලපා දකින්න. මහේශාඛ්‍ය ජීවිත ගතකරන මනුෂ්‍යයින්, සශ්‍රීක දෙවියන් ආදීන් අත්විඳින සැප වේදනාවන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිමින් දකින්න. වේදනාව කෙරෙහි ඇති සක්‌කාය දිට්‌ඨිය, වේදනාවේ අනිත්‍යභාවය දකිමින් තුනී කරගන්න.
මීළඟට පංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව කියන කාරණාව නුවණින් දකින්න. සංඥාව කියලා කිව්වත්, හඳුනාගැනීම කියලා කිව්වත් එකම අර්ථයයි. වේදනාව කියන හේතුව නිසා සකස්‌වෙන ඵලය සංඥාවයි. සංඥාව තුළ ඊට වඩා දෙයක්‌ නැහැ. නමුත් තෘෂ්ණාව නිසා අපි සංඥාව මගේකොට ගන්නවා. සංඥාව තුළ මා සිටිනවාය කියලා දකිනවා. සංඥාව තුළ ආත්මයක්‌ තිබෙනවාය, ඒ ආත්මය තුළ මා සිටිනවාය කියලා දකිනවා. බුදුරජාණන්වහන්සේ සංඥාව කියලා කියන්නේ හඳුනාගැනීම කියන අර්ථයට. සුදුපාට දෙයක්‌ ඔබ සුදුපාටයි කියලා හඳුනාගන්නවා. රතුපාට දෙයක්‌ ඔබ රතුපාටයි කියලා හඳුනාගන්නවා. නිල්පාට ඔබ, නිල්පාට වශයෙන් හඳුනාගන්නවා. මේ මගේ අම්මා, තාත්තා කියලා හඳුනාගන්නවා. ඔබ සිතන්න පුද්ගලයන් සියදෙනෙක්‌ අතර ඔබේ අම්මා ඉන්නවා කියලා. ඔබ එක ක්‍ෂණයකින් 'මේ මගේ අම්මා' කියලා සියලුදෙනා අතරින් අම්මාව හඳුනාගන්නවා. මේ කිරි, මේ ගිතෙල්, මේ වෙඬරු කියලා ඔබ හඳුනාගන්නවා. මේ පිරිමියෙක්‌, මේ කාන්තාවක්‌ය කියලා හඳුනාගන්නවා. මොහු චීන ජාතිකයෙක්‌ මොහු කළු ජාතිකයෙක්‌ය කියලා හඳුනාගන්නවා. මේ කෑගසන්නේ කාක්‌කෙක්‌, හරකෙක්‌, අලියෙක්‌ ය කියලා හඳුනාගන්නවා
පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසෙන් යම් රූපයක්‌ හඳුනාගත්තා නම්, කනෙන් යම් ශබ්දයක්‌ හඳුනාගත්තා නම්, ඔබ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් යම් හඳුනාගැනීමක්‌ සිදුකළා නම්, ඒ සෑම හඳුනාගැනීමක්‌ම අනිත්‍යභාවයට පත්වූ ධර්මතාවයක්‌ නේද?
ඒ කිසිම හඳුනාගැනීමක ඔබ තුළ මම කියා කෙනෙක්‌, මගේ කියා නිත්‍යවූ කෙනෙක්‌ සිටියාද? ඒ කිසිම හඳුනාගැනීමක්‌ තුළ ආත්මයක්‌ කියා දෙයක්‌ තිබුණාද? සංඥාව හිස්‌ දෙයක්‌, අනාත්ම වූ දෙයක්‌. වේදනාව කියන ධර්මතාවය හේතුවෙන් සකස්‌වෙන අනිත්‍යවූ ඵලයක්‌ පමණක්‌මයි. මේ කාරණාවන් නුවණින් දකිනකොට, සංඥාව කෙරෙහි ඔබ ඇතිකොටගත් මමත්වයේ දැඩිභාවය සියුම්වෙනවා. එවිට ඔබ අතීතයේ යමක්‌ හඳුනාගත්තද, වර්තමානයේ යමක්‌ හඳුනාගත්තද, එම රූපය හඳුනාගත් විගසම 'අනිත්‍යයි' කියන අර්ථය ඔබ තුළින් මතුවෙනවා.
පිංවත් ඔබ සිතන්න ඔබට ලස්‌සන නිල්පාට කමිසයක්‌ තෑගි ලැබෙනවා කියලා. ඒ ලස්‌සන නිල්පාට කමිසය ඔබ ලස්‌සනයි, නිල්පාටයි, අලුත්... වශයෙන් හඳුනාගන්නා මොහොතේම, දිරාගිය, පාට පිච්චී ගිය නිල්පාට පරණ කමිසයක්‌ සිහියට නගාගන්න.
මේ රාත්‍රියේ භික්‍ෂුවට එකපාරට නරියකුගේ කෑගසන හඬක්‌ ඇසෙනවා. ඒ හඬ නරියකුගේ බව භික්‍ෂුව හඳුනාගන්නවා. මොහොතකින් නරියාගේ හඬට බියවූ මොනරකුගේ කෑගසන හඬ ඇසෙනවා. ඒ හඬ මොනරකුගේ බව භික්‍ෂුව හඳුනාගන්නවා. උදේ පටන් මේ රාත්‍රිය වන තුරු මොන තරම් ශබ්ද කනෙන් අසා, මනසින් සිතා හඳුනාගන්න ඇතිද. ඒ හැම හඳුනාගැනීමක්‌ම නිරතුරුව වෙනස්‌ වෙනවා. ඔබ යමක්‌ හඳුනාගත්තද, එය නිරතුරුවම වෙනස්‌ව යනවා. ඒ වෙනස්‌වීම දකින පිංවතා සංඥාවට බැඳී යන්නේ නැහැ. විවේකීව සිටින සෑම මොහොතකම ඔබට අතීතයේ ඇතිවුණාවූ හඳුනාගැනීම්වල අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. එවිට සංඥාව කෙරෙහි පවතින මමත්වය දැඩිභාවය ඔබ තුළින් තුනීවී යනවා.

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
(සබ්භාසව සූත්‍රය -3)

දර්ශනයෙන් දුරු කළ යුතු ආශ්‍රවයන් මෙසේ දුරු කරන්න

අපංච උපාදානස්‌කන්ධයට අදාළව සංඥාව හේතුවෙන් සකස්‌ වෙන ඵලය තමයි සංස්‌කාර. හඳුනාගන්නා දෙය ගැන සිතීම නිසා, සංස්‌කාර සකස්‌කොට ගන්නවා. සංස්‌කාර ධර්මයන් කුසල්, අකුසල් කියලා කොටස්‌ දෙකකට බෙදෙනවා. පිංවත් ඔබ රැස්‌කොටගන්නා සෑම කුසල් අකුසල් සංස්‌කාරයක්‌ම විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙනවා. විපාක දී අනිත්‍යභාවයට පත්වන සංස්‌කාරයන් අප 'මගේ 'කර ගන්නවා. සංස්‌කාරයන් තුළ මම සිටිනවාය කියලා දකිනවා. මා තුළ නොවෙනස්‌ වන සංස්‌කාරයන් තිබෙනවාය කියලා දකිනවා. ඒ සංස්‌කාරයන් තුළ ආත්මයක්‌ තිබෙනවාය කියලා දකිනවා. මේ හේතුවෙන් සංස්‌කාරයන් කෙරෙහි මමත්වයේ දැඩිභාවය ඇතිකොටගන්නවා. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස්‌මහා පුරුෂ ලක්‍ෂණයෙන් යුත් රූපකාය සිහියට නගාගන්න. මේ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්, දස පාරමී ධර්මයන්ගේ කුසල් ශක්‌තියෙන් ලද ඵලයක්‌ බව නුවණින් දකින්න. ඒසා ශක්‌තිමත් කුසල් සංස්‌කාරයනුත් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වී ගිය හැටි නුවණින් දකින්න.
පිංවත් ඔබ දේවදත්ත හාමුදුරුවන්ගේ පාපකාරී ජීවිතය නුවණින් දකින්න. මහ පොළොව පලාගෙන දේවදත්තයන් අවිචි මහා නරකාදියට වැටුණු හැටි නුවණින් දකින්න. මේ සා බලවත් අකුසල විපාකයක්‌ ලැබුවත්, එම බරපතළ අකුසලයන් ද අනිත්‍යභාවයට පත්වී දේවදත්ත කල්ප ගණනාවකට පසු පසේ බුදුරජාණන් නමක්‌ව පිරිනිවී යන හැටි නුවණින් දකින්න. පිංවත් ඔබ ඔබේ මනුෂ්‍ය ජීවිතය, ඔබේ ප්‍රසන්න අඟ පසඟ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, සමාජ තත්ත්වය ආදිය කුසල් අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ බව දකිමින් ඒවා නිරතුරුවම වෙනස්‌ වන හැටි නුවණින් දකින්න.
වර්තමාන සමාජයේ පිංවතුන්ලා විශාල වශයෙන් දානමය, ශීලමය පිංකම් සිදුකරනවා. මෙවැනි පිංකම් සිදුකිරීමේදී සමහරක්‌ පිංවතුන් පින කෙරෙහි ලෝභ සිත් ඇතිකරගෙන කටයුතු කරනවා. මෙවැනි කාරණා තුළ සැඟවී තිබෙන්නේ සංස්‌කාර තුළ මම සිටිනවාය, මා තුළ සංස්‌කාර සිටිනවාය කියන මෝහ මූලික අර්ථයයි. කුසල් සංස්‌කාරයන් නිසා ඉහළට මතුවන සක්‌විති රජුත්, ශක්‍රයාත් අකුසල් සංස්‌කාර හේතුවෙන් දුගතියට වැටිය හැකිනම් සංස්‌කාරයෝ අනිත්‍යයයි කියලාම දකින්න. පිංවත් ඔබ නිරතුරුවම සශ්‍රික දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ සිතෙන් මවාගෙන ඒ දිව්‍ය ජීවිත අනිත්‍යවී යන හැටි නුවණින් දකින්න. සුරූපී කාන්තාවක්‌, පිරිමියෙක්‌ සිතින් මවාගෙන කුසල් සංස්‌කාරයන් නිසා ලැබුණු සුරූපීභාවය, අනිත්‍යභාවයට පත්වන හැටි නුවණින් දකින්න. දුප්පත් මනුෂ්‍යයෙක්‌ ලොතරැයියක්‌ දිනුම් ඇදීමෙන් කෝටිපතියෙක්‌ වෙනවා නුවණින් දකින්න. සංස්‌කාරයෝ නිරතුරුවම ආත්මීයභාවයක්‌ නැති, අනාත්ම ධර්මතාවයක්‌ බව නුවණින් දකිමින් සංස්‌කාර කෙරෙහි ඇති මමත්වයේ දැඩිභාවය සියුම්කොට ගන්න. සංස්‌කාර යනු සංඥාව හේතුවෙන් සකස්‌වෙන ඵලයක්‌ මිස, මගේ කොට ගැනීමට එහි ස්‌ථිර කිසිවක්‌ නොමැති බව නුවණින් දකින්න.
පංච උපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව බුදුරජාණන්වහන්සේ මීළඟට දේශනා කරන්නේ සංස්‌කාර හේතුවෙන් සකස්‌වෙන ඵලය වන විඥානය ගැනයි. විඤ්ඤාණය කියලා කියන්නේ විශේෂ වූ ඤාණයට. යමක්‌ දැනගන්නවාය කියන අර්ථයටත් විඤ්ඤාණය කියලා කියනවා. පිංවත් ඔබ යමක්‌ හඳුනාගත්තාද, ඒ හඳුනාගත් දෙය ගැන සිතනවා. ඔබ යමක්‌ ගැන ද සිතන්නේ, ඒ සිතන දෙය ගැන දැනීමක්‌ ඇති කොට ගන්නවා. ඔබ කුමක්‌ ගැන ද දැනගන්නේ ඒ දැනගත් දෙයට බැඳී යනවා. පිංවත් ඔබ ආහාරයක්‌ අනුභව කරනකොට එය තීත්ත නම්, තිත්ත බව දැනගන්නවා. එම ආහාරය පැණිරස නම් පැණිරස බව දැනගන්නවා. යමක්‌ සුවඳ නම් එය සුවඳ බව දැනගන්නවා. යමක්‌ දුගඳ නම් එය දුගඳ බව දැනගන්නවා. ඔබ යම් පිංවතෙක්‌ ඇසුරු කරලා ඔහු හොඳයි හෝ නරකයි කියලා දැනගන්නවා. ආණ්‌ඩුව හොඳ ආණ්‌ඩුවක්‌ය හෝ දුර්වල ආණ්‌ඩුවක්‌ය කියලා දැනගන්නවා. නායකයා හොඳ හෝ නොහොඳය කියලා දැනගන්නවා. දොස්‌තර මහත්මයා හොඳය කියලා දැනගන්නවා. දැන් පිංවත් ඔබ නුවණින් දකින්න ඔබ යම් රූපයක්‌ කෙරෙහි එවැනි විශේෂ දැනීමක්‌ ඇති කර ගත්තා නම්, ඒ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? තමන්ට හොඳයි කියලා ඡන්දය දීලා රජයක්‌ පත්කර ගන්නවා. වසර 5 කින් රජය නරකයි කියලා පරාජයකොට දමනවා. බුදුරජාණන්වහන්සේ විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා දේශනා කරනවා. මරණාසන්න පුද්ගලයෙකුගේ චුති සිතට දැනීමක්‌ ඇතිවෙනවා ඔහු ලබන්නේ සුගතියේ උපතක්‌ ද, දුගතියේ උපතක්‌ ද කියලා. මේ දැනීම නිසාමයි සුගතියේ උපතදී පුද්ගලයා සතුටු සිතිනුත්, දුගතියේ උපතේදී පුද්ගලයා ගැටෙන සිතිනුත් මියයන්නේ. පටිච්ඡ සමුප්පාද ධර්මයේදී බුදුරජාණන් වහන්සේ 'සංස්‌ඛාර පච්ඡයා විඥ්ඥාණ ' කියලා දේශනා කරනවා. සංස්‌කාර නිසා සකස්‌වෙන කර්ම ශක්‌තිය විඤ්ඤාණය කියලයි එයින් අදහස්‌ වෙන්නේ. මේ කර්ම ශක්‌තිය ආයතනය හය තුළින්, ආයතන මැරෙමින් ඉපදෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් භවය කරා ගමන් කරනවා. විඤ්ඤාණය පංච උපාදානස්‌කන්ධයේ සෑම උපාදානස්‌කන්ධයක්‌ අතරටම වැදී සියුම් ආකාරයෙන් ක්‍රියාත්මක වන නිසාත්, විඤ්ඤාණය වේගයක්‌ පමණක්‌ වන නිසාත්, විඤ්ඤාණය මැජික්‌කරුවෙක්‌ය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. විඤ්ඤාණයේ වේගය කොතෙක්‌ ද කියනවා නම්, මේ මොහොතේ මනුෂ්‍යයෙක්‌ව සිටින ඔබ ඊළඟ නිමේෂයේදී මරණයෙන් පසු දෙවියෙක්‌, නිරිසතෙක්‌ බවට පත්කරනවා. යොදුන් ලක්‍ෂ ගණනක්‌ ඈත තිබෙන දිව්‍ය තලයක නිරයක උපතක්‌ තත්ත්පරයක්‌ තුළදී සකස්‌කොට දෙන්න විඥානයේ වේගයට හැකියාව තිබෙනවා. කවදාහරි දිනයක පිංවත් ඔබ විඤ්ඤාණය අවබෝධ කරගතහොත් ඔබ අවබෝධ කරගන්නේ විඥානය යනු වේගයක්‌ පමණක්‌ම බවයි. ඒ වේගය තුළ ඔබ දකින්නේ හිස්‌භාවය පමණක්‌මයි. ඒ නිසාම ඔබට විඥානය කෙරෙහි ඇති තෘෂ්ණාව සිඳී යනවා.
පිංවත් ඔබ දැන් නුවණින් දකින්න, ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇසින් රූපයක්‌ දැකලා, කනෙන් ශබ්දයක්‌ අසලා, දිවෙන් නාසයෙන්, ශරීරයෙන්, මනසින් යම් දැනීමක්‌ ඇතිකරගන්නවා නම්, ඒ ඇතිකොටගත්තා වූ සෑම දැනීමක්‌ම අනිත්‍යයයි නේද? ඒ දැනීම හිස්‌ දෙයක්‌ නේද? ඒ දැනීම තුළ ආත්මයක්‌, සත්වයෙක්‌, පුද්ගලයෙක්‌ හිටියේ නැහැ නේද? පිංවත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ ඇතිකොටගත් සෑම විශේෂ දැනීමක්‌ම අනිත්‍යයි කියලා නුවණින් දකිමින් ජීවත්වෙන්න.
පංච උපාදානස්‌කන්ධයට අදාළව රූප, වේදනා, සංඥා, සංස්‌කාර, විඤ්ඤාණ යන ධර්මථාවයන් පහ කෙරෙහි ඔබ 'මමය' 'මගේය' කියන දෘෂ්çන් නුවණින් මෙනෙහි කිරීම තුළින්ම හීනකොටගන්න. දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන්, ඒ කියන්නේ සෝවාන් ඵල අවබෝධයෙන් ප්‍රහානය වන සක්‌කාය දිට්‌ඨිය
ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ

ඊලඟ පිටුවට...