පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි

සතර අපායෙන් මිදෙමු
127 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ 



පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක්‌ වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්‌. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්‌ටු තුනක්‌ අල්ලලා තිබුණා. ඒ ඔට්‌ටු තුනෙන්ම මම පැරදුනා. මගේ සිතේ කැමැත්ත දිව්වේ ඒ දිශාවට. රට ජාතිය ආගමට ඒ දිනවල මම ගොඩාක්‌ ආදරෙයි. ළමා කාලයේ මම බොහොම කුලෑටි ශිෂ්‍යයෙක්‌. පාසලේ සාහිත්‍ය සංගමය දවසට සින්දුවක්‌ කියන්න කිව්වොත් මම හැමදාම මගහරිනවා. සභාවක්‌ ඉදිරියට යන්න හරිම ලැඡ්ජයි. එම ලැඡ්ජාශීලී බව නැතිකරලා මාව සමාජය ඉදිරියට ගත්තේ කිංස්‌ලි වික්‍රමරත්න කියන මහත්මයා. ඔහු මට ගිහි ජීවිතයේදි හුඟක්‌ උපකාර කළා.
ජීවිතය දකින්න, ජීවිතය විඳින්න, ජීවිතය කලකිරෙන්න, ජීවිතයේ නිස්‌සරණය සොයාගෙන යන්න, මට ගොඩාක්‌ම ජීවිතාවබෝධය ලබාගන්න උපකාර වූයේ කිංස්‌ලි වික්‍රමරත්න මහත්මයා. මගේ ජීවිතයේ මට ලැබුණ හැම දෙයක්‌ම, නොලැබුණ සෑම දෙයක්‌ම මට උපකාර වුණා වර්තමානයේ සිටින තැනට එන්න. භික්‌ෂුවගේ ජීවිතේ කොතනකවත් භික්‌ෂුවට වැරදිලා නැහැ. විය යුතු දෙයයි වෙලා තිබෙන්නේ. ඒ නිසා ලෝකයේ කිසිවෙක්‌ මට හොඳක්‌ කරලත් නැහැ, වරදක්‌ කරලත් නැහැ. මම කරපු දෙයයි මම ලබලා තිබෙන්නේ. 
භික්‌ෂුව වැඩසිටින කුටියට ඉහළින් තිබෙන ගසේ මල් පිපිලා. ලොකු දඬුලේනෙක්‌ එම අතු පතර රිංගමින්, මල් ආහාරයට ගන්නවා. එයා කාලා ඉවත දමන මලේ පොත්ත, භික්‌ෂුව වැඩසිටින කුටියේ ඉදිරි පියස්‌සේ ඇති පොලිතින් වහලයට සට සට ගාලා වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය මාරයා හැටියට දකින්න කියලා. එහෙම නොදැක්‌ක ස්‌වාමින් වහන්සේනමක්‌ භික්‌ෂුවට, ආරණ්‍යයකදී මුණගැසුනා. උන්වහන්සේගේ පැවිද්දේ අර්ථයේ එක කොටසක්‌ මෙන් තිරිසන් සතුන්ව සුරතල් කිරීමත් පෝෂණය කිරීමත්. තිරිසන් සත්ව වේෂයෙන් අප ඉදිරියට එන මාරයාව අපි හඳුනාගන්න දක්‍ෂවෙන්න ඕනේ. එම නිසා තිරිසන් සතාව නිරතුරුව මගහැරලා ජීවත් වෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි පසුපසින් බැලලියක්‌ ආවත් ඇය කාන්තාවක්‌ හැටියට දකින්න දක්‌ෂවන්න ඕනේ. මොකද කාන්තාව තුළවත් බැලලිය තුළවත් නොවේ රාගය තිබෙන්නේ. එම රූපය කෙරෙහි ඇති චන්දරාගය නිසා, අපි තුළයි රාගය ඇතිවෙන්නේ. 
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කියන්නේ බල්ලන්, බලලුන්ට වටකරගෙන කෑම දෙනවා සුරතල් කරනවාය කියන කාරණය නොවේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් තිරිසන් සතුන්ව සුරතල් කරන්න තිරිසන් සතුනට කන්න දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ගෙන් උපස්‌ථානයක්‌ ලබලා එම තිරිසන් සතුන්ට සුගතියට මාර්ගය පාදලා දුන්නේ. බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් උපසම්පදා භික්‌ෂුන්ට පනවා තිබෙනවා. තවත් දානය වළඳලා පාත්‍රයේ ඉතිරි ඉඳුල් ආහාර සතුන් නැති ගලාගෙන යන ජලයකට දමන්න කියලා. තණකොළ නැති පොළවකට දමන්න කියලා. ස්‌වාමින් වහන්සේලා දානය වළඳලා ඉඳුල් බත් ටික තිරිසන් සතෙකුට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ස්‌වාමින්වහන්සේලාට දේශනා කරලා නැහැ. මොකද තිරිසන් සතුන් උතුම් භික්‌ෂුත්වයට පලිබෝධයක්‌මයි. 
බුදුරජාණන් වහන්සේලාගේ උතුම් මහා කරුණා ගුණය සකස්‌ වෙන්නේ, උන්වහන්සේ පුර්වේනිවාසානුස්‌සති ඥණයෙන් දකිනවා. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙන සෑම මනුෂ්‍යයෙක්‌ම, සංසාරයේ මට අම්මා තාත්තා වෙලා තිබෙනවා දරුවෙක්‌ ඥතියෙක්‌ වෙලා තිබෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පුර්වේනිවාසානුස්‌සති ඥණයෙන් දකිනවා ප්‍රේත තිරිසන් අසුර නිරය කියන සාගර අහසේ සෑම සත්වයෙක්‌ම සංසාරයේ මට අම්මා, තාත්තා, ඥතියෙක්‌, දරුවෙක්‌, වෙලා තිබෙනවා කියලා. මේ හැම දිව්‍ය, බ්‍රහ්ම තලයක සිටින සෑම දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌ම මට සංසාරයේ අම්මා, තාත්තා, ඥතියෙක්‌, දරුවෙක්‌ වෙලා තියනවා කියලා. මේ උතුම් දැක්‌ම තුළ සිටිමිනුයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ලෝකයට පැතිරෙන්නේ. අපි මේවා වැරදි දුර්වල ආකාරයට තේරුම් අරගෙන තිරිසන් සතුන්ට කන්න දීම සුරතල් කිරීම මහා කරුණා ගුණය හැටියට දකිනවා වගේම මෙවැනි දේවල් නිසා අපේ භික්‌ෂුත්වයත් විනාශ කොට ගන්නවා.
භික්‌ෂුව මුණගැසෙන්න කුටියට, තරුණ ස්‌වාමින් වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ හුදකලාව ප්‍රිය කරණ ස්‌වාමින් වහන්සේනමක්‌. උන්වහන්සේ බොහොම නොසතුටින් වගේ ප්‍රකාශ කලා මේ වස්‌ කාලය සිත විසුරුණු වස්‌ කාලයක්‌ කියලා. මගේ කෙටි උපසම්පදා ජීවිතයේ නරකම වස්‌ කාලය මෙය බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. භික්‌ෂුව ඇසුවා ඇයි මොකද සිත විසිරෙන්න හේතුව කියලා. උන්වහන්සේ කියනවා කුටියේ කැපකරු කියන දෙය අහන්නේ නැහැ, දායක පිරිස්‌ කුටියට එක්‌කරගෙන එනවා කියලා. භික්‌ෂුව ඇසුවා නිතරම දායක පිරිස එක්‌කරගෙන එනවාද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා එක කට්‌ටියක්‌ පමණයි කුටියට එක්‌කරගෙන පැමිණියේ කියලා. කැපකරු එක දායක පිරිසක්‌ කුටියට එක්‌කරගෙන ආවය කියලා උන්වහන්සේගේ මුළු වස්‌ කාලයම විනාශවෙලා. මේ ගැටීම සකස්‌ වෙන්නේ මගේ හුදකලාව කියන ඇලීමේ බලවත්භාවය නිසාමයි. ඇලීමේ බලවත්භාවය නිසාමයි ගැටීමේ උච්ඡභාවය සකස්‌ වෙන්නේ. ඇලීමත් ගැටීමත් උච්ඡ තැනදී සිතේ විසිරීම ස්‌වභාවික දෙයක්‌. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය කියන්නේ මාරයාය කියලා. එම නිසා අපි කැපකරුවන් දායක මහත්මයාත් මාරයා හැටියට දකින්න දක්‍ෂවෙන්න ඕනේ. අපිට මේ අය ප්‍රතික්‍ෂේප කරලා ජීවත්වෙන්න බැහැ. මේ අයත් අපේ පැවිදි ජීවිතයේම කොටසක්‌. අපි කැපකරුව ජයගන්න දක්‍ෂ නැතිනම් දායක පිංවතා ජය ගන්න දක්‍ෂ නැතිනම්, ඒ අය සමග ගැටෙන ස්‌වභාවයට ඇලෙන ස්‌වභාවයට යනවා නම් අපි කෙසේ සේනා සහිත මාරයාව ජය ගන්නද? මුලින්ම ඔබ කැපකරුට දායක මහතාව ජය ගන්න දක්‍ෂ වෙන්න. මේ අය සමග ගැලවීමට හැකි මායිමේ සිට ඇසුරු කරන්න දක්‍ෂ වෙන්න.

(මෙය, සංඝයා උදෙසා වැදගත්වන සටහනක්‌ තබන ලෙසින් මෙම ලිපි මාලාව සම්පාදනය කරනු ලබන ස්‌වාමීන් වහන්සේ හට සහෝදර ස්‌වාමීන්වහන්සේ නමකගෙන ලද ආරාධනයට අනුව ලියෑවුණු දීර්ඝ ලිපියේ තවත් කොටසකි. ඉකුත් සතියේ පළවූයේ සිංහල අවුරුද්ද වෙනුවෙන්, සිංහල බෞද්ධ සමාජය උදෙසා විශේෂයෙන් ලියන ලද ලිපියක්‌ බව සලකන්න)

සතර අපායෙන් මිදෙමු
128 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ 

රාග සිතකින් උපදින කල්පාන්තරයක දුක එක විදර්ශනා සිතකින් නිවා දමන්න


භික්‌ෂුව එක ආරණ්‍යයක වැඩසිටිනකොට එහි ලොකු මල්පෝච්චිවල සිටවපු මල්ගස්‌ පහළොවක්‌ පමණ තිබුණා. ඉඩෝර කාලය පැමිණි නිසා ඒවාට වතුර දැමීමට අවශ්‍ය වුණා. ආරණ්‍යයේ කැපකරු එම කටයුත්ත භික්‌ෂුවට පැවරීමට උත්සාහ ගත්තා. භික්‌ෂුව එයට අකමැති වුණා. අකමැත්ත ප්‍රකාශ කළ මොහොතේ පටන්, එම කැපකරුවා භික්‌ෂුව සමග ගැටෙන ස්‌වභාවයට පැමිණියා. පසුදින භික්‌ෂුව දානශාලාවේදී කැපකරු මහතාට යම් ආහාරයක්‌ පිළිගන්වන්න යෑයි කියා සිටියදී, ඔහු එය නොඇසුනාක්‌ මෙන් මගහැර ගියා. ඔහුට අවශ්‍ය වුණේ, භික්‌ෂුව සමඟ ආරවුලක්‌ ඇතිකොට ගැනීමටයි. පසුදා පටන් භික්‌ෂුව එම මල් පෝච්චි පහලොවට වතුර දැම්මා. කැපකරු ගැටෙන ස්‌වභාවයෙන් මිදුණා. වැසි කාලය පැමිණි නිසා භික්‌ෂුවට එම කාර්යය සිදුකිරීමට සිදුවූයේ මාසයක්‌ පමණයි. මේ කැපකරු මහතා නිසා එම ආරණ්‍යය හැරගිය ස්‌වාමින්වහන්සේලා කිහිපනමක්‌ම අතීතයේ සිටි බව භික්‌ෂුවට පසුව ආරංචි වුණා. මෙවැනි මාර බලයක්‌ අප ජයගැනීමට දක්‌ෂ නැතිනම්, මේවා සමග ඇලීම ගැටීම නිසා විසිරුණු සිතක උරුමය ඔබට ලැබෙනු ඇත.
මෙවැනි විසුරුණු සිතක උරුමයයි (ඉකුත් සතියේ ලිපියේ සදහන්වූ) කුටියට පැමිණි තරුණ ස්‌වාමින්වහන්සේට තිබුණේ. මාරයාව අවබෝධ කර ගැනීමට අවශ්‍යව තිබියදී මාරයාව ගැටෙන ස්‌වභාවයට ගිහිල්ලා වටිනා වස්‌ කාලයක්‌ උන්වහන්සේ අවුල් කරගත්තා. භික්‌ෂුව එම ස්‌වාමින්වහන්සේට දැනුම් දුන්නේ 'ඔබ ඔය සකස්‌වෙන සිත නිත්‍ය වශයෙන් ගන්න එපා' ඔබවහන්සේ ඔය ගැටෙන සිතට බැඳී ගිහිල්ලයි තියෙන්නේ. ඔබවහන්සේ මේ මොහොතේ අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගන්න, ඔබවහන්සේ හොඳම වස්‌ කාලය මේ වස්‌ කාලයයි කියලා. අතීතයේ වෙච්චි හැම දෙයක්‌ම අතීත පංචඋපාදානස්‌කන්ධයක්‌ හැටියට දැකලා අමතකකොට දමන්න. මුලින්ම ඔබ කැපකරු ජයගන්න. කැපකරු ජයගතහොත් පමණයි ඔබට මාරයා ජයගන්න මාර්ගයට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. එතෙක්‌ ඔබ මාරයාටම අයත් සිතුවිලි සමඟ, මාරයා ජයගැනීමේ නිරර්ථක සටනකයි නියෑලී සිටින්නේ. උන්වහන්සේ සතුටු සිතින් උන්වහන්සේගේ හුදෙකලා කුටියට නැවත වැඩියා.
ධර්මයේ අර්ථයක්‌ නොදත් මනුෂ්‍යයෝ ආගමක්‌ සරණ යන්නේ ලෝකය තුළ තිබෙන අනතුරුවලින් මිදිලා ආරක්‌ෂාවක්‌, සැනසිල්ලක්‌ බලාපොරොත්තුවෙන්. මෙවැනි මනුෂ්‍යයන් අතර සමහරු සිටිනවා රාගය, ආගමක්‌කොට ගත්ත ඔවුන්ගේ ආගම තමයි රාගය. ඔවුන්ගේ විමුක්‌තියත් රාගය. රාගයෙන් ලබන විමුක්‌තියෙන් පිට විමුක්‌තියක්‌ ඔවුන් දකින්නේ නැහැ.
එක තරුණයෙක්‌ සිටියා ඔහු බොහොම රාගික සිංහල බෞද්ධ තරුණයෙක්‌. පාසල් වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධතාවයක්‌ ඇතිකොට ගන්නවා. ඔහු මේ කිසිම ඇසුරකින් සෑහීමකට පත්වෙන්නේ නැහැ. අවසානයේ මොහුට මොහුගේම රාගයට ගැලපෙන තරුණියක්‌ මුණගැසෙනවා. ඇය අන්‍යාගමික තරුණියක්‌. මේ සිංහල බෞද්ධ තරුණයා වෙනත් ආගමකට බැඳී ඇයව විවාහ කර ගන්නවා. බලන්න අවසානයේ ඔහුගේ ආගම වුණේ රාගයයි.
මේ වගේම සිංහල බෞද්ධ තරුණියක්‌ සිටියා. ඇයත් අධි රාගික චරිතයක්‌. ඇය කිසිම සිංහල බෞද්ධ තරුණයෙක්‌ ගෙන්වත් තෘප්තිමත් වුණේ නැහැ. අවසානයේ ඇයට ඇයගේ රාගයට ගැලපෙන අන්‍යාගමික තරුණයෙක්‌ මුණගැසෙනවා. ඇය එම ආගමට බැඳී එම තරුණයාව විවාහකොට ගන්නවා. මේ අයගේ ආගම, විමුක්‌තිය තමයි රාගය.
රාගය ආගමකොටගත් සමාජයක ජීවත් වෙච්ච මනුෂ්‍යයෙක්‌ සිටියා. ඔහු කන්ද උඩරට ප්‍රදේශයේ ජීවත්වුණ කෝටිපති මහත්මයෙක්‌. ඔහුගේ ජීවිතයේ අංක එක ලැබුණේ රාගය. අංක දෙක ලැබුණේ ව්‍යාපාරයට අංක තුන ලැබුණේ පිංකම්වලට. අනුපිළිවෙලට සටහන් තැබුවත් මේ කාරණා තුන ඔහු සමබරව කරගෙන ගියා. මොහු මීට වසර 25 කට පෙරාතුව නුවර ප්‍රදේශයේ විහාරස්‌ථානයක විශාල බුදුපිළිම වහන්සේ නමක්‌ තම ධන පරිත්‍යාගයෙන් ඉදිකොට විවෘත කරනු ලැබුවා. විවෘත කිරීමේ පිංකමට ඔහු රැගෙන ඇවිත් තිබුණේ මඟුල් බෙර කණ්‌ඩායමක්‌, වෙස්‌ නැටුම් කණ්‌ඩායමක්‌ නොවේ. රාත්‍රි සමාජ ශාලාවල රංගන ඉදිරිපත් කරන කොට කලිසම් ඇඳගත්ත නාට්‍යාගංනාවන් දෙදෙනෙක්‌.
ඊටම ගැලපෙන සංගීත කණ්‌ඩායමකුත් සිටියා. පන්සල මොහොතකට සමාජ ශාලාවක්‌ වුණා. රැස්‌ව සිටි තරුණ පිරිස්‌ සතුටින් කාමච්ඡන්දයන් විඳලා අකුසල් සිදුකොට ගත්තා. එහි සිටි වැඩිහිටි උපාසක පිරිස මේ අශෝභන සිද්ධිය ගැන ගැටිලා අකුසල් සිද්ධකොට ගත්තා. පන්සලේ ස්‌වාමින්වහන්සේලාත් ධානපති මහත්තයාට ඉහළින් කටයුතු කළේ නැහැ. දානපති මහත්තයා සතුටු සිතින් පිංකම අවසන් කළා. පිංකම තුළිනුත් කාමයන් වැඩෙන පරිසරයක්‌ තමයි මොහු බලාපොරොත්තු වුණේ. මේවා වැරදියි කියලා දැක්‌මක්‌ ඔහුට තිබුණේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ තමනුත් සතුටු වෙලා මිනිසුන්වත් සතුටු කරන්න. මේ දානපති මහත්තයා තම ජීවිතයේදී විවාහයන් කිහිපයක්‌ සිදුකොට ගත් අයෙක්‌. මේ හැම විවාහයක්‌ම සිද්ධකොට ගත්තේ මුල් විවාහය නිත්‍යානුකූල දික්‌කසාදයක්‌ කිරීමකින් තොරවයි. තව අපූරු කතා ගොඩක්‌ ඒ මහත්මයාගේ ජීවිත කතාව තුළ තිබෙනවා. ඒවා මෙහි සටහන් තබන්නේ නැහැ. රාගයට බරව ජීවත්වෙච්ච මේ මහත්මයා පිංකම් වලටත් මුල්තැන දුන්නා. මොහු තම ධනපරිත්‍යාගයෙන් ඉදිකරපු පන්සල් බුදුමැදුරු වල මේ වනවිටත් සියගණනින් මනුෂ්‍යයෝ මල් පහන් පූජා කරනවා. මේ පිළිම වහන්සේ ඉදිරියේ භාවනා කරනවා. මෙසේ ජීවත් වෙලා මේ මහත්මයා රෝගී වෙලා එකතැන් වෙනවා. අවසානයේදී මේ දානපති මහත්මයා තම බිරිඳ සමීපයේදී මරණයට පත්වෙනවා. දැන් ඔබ නුවණින් ගලපල බලන්න මේ මැරිච්ච දානපති මහත්මයා නැවත කොහේ උපත ලබන්නට ඇතිද කියලා හේතුඵල ධර්මයට අනුව ගලපල බලන්න. මේ මනුස්‌සයා අහවල් තැන ඉපදුනාය කියලා ඔබ මේ මොහොතේ ඇති කරගත් උත්තරය වැරදියි. භික්‌ෂුවක්‌ උතුම් සමාධියෙන් අරමුණුකොට බලනවා මේ රාගයට ලැදි පිංකම්වලට ලැදි දානපති මහත්තයා නැවත ඉපදුනේ කොහෙද කියලා. ඒ වෙලාවෙ ඒ ස්‌වාමින්වහන්සේ දකිනවා ඒ මහත්තයා මේ මනුෂ්‍ය සමාජයේම ස්‌ත්‍රිත්වය ලබලා ඉපදිලා. පෙර ජීවිතයේ කාන්තාවන් කිහිපදෙනෙක්‌ විවාහ කරගත් මේ දානපති මහත්තයා වර්තමානයේ කාන්තාවක්‌. දැන් ඔබට සතුටක්‌ ඇතිවෙන්න පුළුවන් මේ දානපති මහත්තයා සතර අපායට වැටෙන්නෙ නැතිව මනුෂ්‍ය කාන්තාවක්‌ වුණ එක වාසනාවක්‌ය කියලා. ඒ ස්‌ත්‍රිත්වය ඇයට කවදාවත් වාසනාවක්‌ වෙන්නෙ නැහැ. මොකද ඇය පිටුපස විපාක දීම සඳහා බලවත් කාමයවරදවා හැසිරීමේ අකුසල් ගොන්නක්‌ තිබෙනවා, ගිsය ජීවිතයේදී දානපති මහත්තයා හැටියට සිදුකරපු. සමහරවිට ඇය තරුණ වියේදීම අසම්මත ප්‍රේම සම්බන්ධයට යොමුවෙලා ජීවිතය විනාශ වෙන්න පුළුවන්. සෑම විවාහයක්‌ම දික්‌කසාදයකින් කෙලවර වෙන්න පුළුවන්. අවසානයේ ගණිකාවක්‌ බවටත් පත්වෙන්න පුළුවන්. ඉහත සිද්ධිය නුවණින් විග්‍රහකොට දකින්න උත්සාහ ගන්නවා. ගිය ජීවිතයේ මේ දානපති මහත්තයා මේ ජීවිතයේදී ස්‌ත්‍රිත්වයක්‌ ලැබුවේ අතීත අකුසල් විපාකය පිණිස සකස්‌කොට මේ ස්‌ත්‍රී ජීවිතයෙන් පස්‌සෙ අනිවාර්යයෙන්ම සතර අපායට වැටෙන්නය කියන කාරණය මතුකොට ගන්න ඔබ දක්‌ෂ වෙන්න. රාගී සිතිවිල්ලක්‌ තුළ සැඟවී තිබෙන අසම්මත බව ගමනේ කර්කෂ කටුක වසන්තය නුවණින් මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. සතුටු වෙමින් අකුසල් රැස්‌ කරන එම අකුසල් විපාක දෙනකොට අකුසල් නිසාම තව අකුසල් මෝදුකොට ගනිමින් දුකට පාර පෙන්වන අවිද්‍යාවේ මාර්ගය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින්ම නිශේද කිරීමට ඔබ දක්‌ෂ වෙනවා. රාග සිතුවිල්ලකින් සකස්‌ වෙන කල්පාන්තරයක දුක එකම එක විදර්ශනා සිතකින් පරාජයකොට දමන උතුම් ධර්ම මාර්ගයට ඔබත් අර්ථවත්ව අවතීර්ණ වෙන්න.


අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා 
මේ තෙමඟුල අර්ථවත්කරගන්න
මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
විශේෂ වෙසක්‌ ලිපිය

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා කියනවා, මම අසවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරගන්න ගියාය කියලා. එවිට එම හිතවතා කියනවා 'අපෝ ඇයි ඒ හාමුදුරුවන්ට දන්දුන්නේ, ඒ හාමුදුරුවො දුශ්ශීලයි. බොරු කියනවා' කියලා. තම හිතවතාගේ කථාව අහලා දන් පූජාකරගත් පිංවතා දානය නිසා ඇතිකරගත් චිත්ත ප්‍රීතිය නැතිකොටගෙන ස්‌වාමීන්වහන්සේ කෙරෙහි සැකයක්‌ ඇතිකොටගන්නවා. මොකක්‌ද මෙතැනදි සිද්ධවුනේ. අනුන්ගේ කථාවක්‌ අහලා ඔහු වෙනස්‌වුනා. මෙය අමූලිකා ශ්‍රද්ධාවේ ලක්‍ෂණයක්‌.
තවත් පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහුත් භික්‍ෂුවට දානයක්‌ පූජාකරලා පිං අනුමෝදන්වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැසිලා අහනවා ඔeබ කොහේද ගියේ කියලා. එවිට එම පිංවතා කියනවා මම අහවල් ස්‌වාමීන්වහන්සේට දානයක්‌ පූජාකරන්න ගියාය කියලා. එවිට ඒ මිත්‍රයා කියනවා 'අපෝ ඒ හාමුදුරුවන්ට දන්දීලා වැඩක්‌ නැහැ, ඒ හාමුදුරුවෝ දුශ්ශීලයි. බොරු කියනවා කියලා. තම හිතවතාගේ මේ කථාව අහලා දන්පූජා කළ පිංවතා කියනවා 'ස්‌වාමීන්වහන්සේ දුශ්ශීල වුවත්, බොරුකීවත් මට වැඩක්‌ නැහැ. මම උතුම් මහා සංඝරත්නය අරමුණුකොටයි, ස්‌වාමීන්වහන්සේට දන්පූජා කළේ ' කියලා. තම හිතවතාගේ නොමනා කථාව අහලා ඔහු වෙනස්‌වුනේ නැහැ. උතුම් සංඝයා කියන අර්ථය තුළ සිටිමින්, තම කුසල්සිත තව තව වර්ධනය කරගත්තා. අනුන් කීවාය කියලා, පතක පොතක තිබුණාය කියලා, ඔහු තෙරුවන් කෙරෙහි ඇතිකරගත් විශ්වාසය දුර්වල කරගත්තේ නැහැ. එය උතුම් සද්ධාවේ ලක්‍ෂණයක්‌ වෙනවා. නිරතුරුවම අනුන් නිසා, තන්හා මාන දිට්‌ඨි නිසා වෙනස්‌වෙන අමූලිකා සද්ධාවත්, විශ්වාසයේ අවබෝධයෙන් සරණගිය උතුම් සද්ධාවත්, අමූලිකා සද්ධාවෙන්, උතුම් සද්ධාවෙන් සකස්‌වෙන කුසල් සහ අකුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය අවබෝධයෙන් ඇතිකොටගන්නා අචල ශ්‍රද්ධාවත් මූලිකම ලක්‍ෂණයන් වෙනවා.
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ අර්ථය මුල්කොටගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අර්ථය ලෝක සත්වයාට දේශනාකොට වදාල, ලොව්තුරා බුqදුරජාණන්වහන්සේගේ උපත, සම්මා සම්බුද්ධත්වයට පත්වීම, පිරිණිවීම යන තෙමගුල සිදුවූ තවත් වෙසක්‌ පුර පසලොස්‌වක පොහොය දිනයක්‌ අද හෙටම උදාවෙනවා.
භික්‍ෂුව මේ සටහන තබන රාත්‍රියේ පරිසරය වෙලාගෙන පවතින අඩ අඳුර, ලොවම සඳරැසින් බබලවන්නට මෝදුවන වෙසක්‌ සඳ, අඳුරු වලාවකට මැදිව ඇතිබවක්‌ භික්‍ෂුවට හැඟී යනවා. සම්මා සම්බුද්ධ ශාසනය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මතක්‌වෙන්නේ අබුද්ධෝත්පාද කාලයක අඳුරු අර්ථය මොනතරම් කටුකද කියන කාරණයයි. කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ශාසනය අතුරුදන්වගොස්‌ අවුරුදු ලක්‍ෂ දහයකට වැඩි දීර්ඝ අබුද්ධෝත්පාද කාලය අවසන් කරලයි, ගෞතම බුදුරජාණන්වහන්සේගේ පහළවීම සිද්ධවෙන්නේ. උතුම් ශ්‍රී සද්ධර්මයෙන් උපන් සමාජමය සංසිදීම තුළ, සම්බුද්ධ ශාසනයේ රැකවරණය තුළින් උපන්, ගුණාත්මකභාවයන්ගේ සරණින් පිංවත් ඔබට අබුද්ධොත්පාද කාලයන්හී කටුක බව නොදැනී ගිහින් තිබෙන්නේ....
එමනිසා පිංවත් ඔබ මේ උතුම් වෙසක්‌ පොහොය දිනයේ, විෂම අබුද්ධොත්පාද කාලයන්හී කටුක දුක, අකුසල්ම උපදවන මිත්‍යාදෘශ්çන් ගැන නුවනින් මෙනෙහි කරන්න. දීර්ඝ අබුද්ධෝත්පාද කාලයන්හී මිච්ජා ශාස්‌තෘවරු දේශනා කරන මිච්ජා මාර්ගයන් මොනතරම් අධර්මයක්‌ද. ලෝකය මැව්වේ මහා බ්‍රහ්මයාය, ඊශ්වර දෙවියා යෑයි කියා ගිනිපූජා පවත්වමින්, සතුන්ගේ බෙලිකපා යාග හෝම පුද පූජා කරමින්, ගස්‌,ගල්, ඉර, හඳ, තාරකා වන්දනා කරමින්, යකුන් යක්‍ෂණියන්, අමනුෂ්‍යයන් පුදමින්, වන්දනාකරමින්, ගෝ වෘත, සුනඛ වෘත රකිමින්, විමුක්‌තිය සෙවූ මිච්ජා ශ්‍රාවකයින් ධර්මයේ නාමයෙන් සතර අපායන්ට ගාල්කරවන දීර්ඝ අබුද්ධෝත්පාදකාලයන්හී මිච්ජා ශාස්‌තෘවරුන්ගේ , මිච්ජා ධර්මයන්ගේ, මිච්ජා ශ්‍රාවකයින්ගේ මෝහ මූලික ධර්මතාවයන් නුවනින් දකින්න. පිංවත් ඔබත් මමත් මෙවැනි දීර්ඝ අබුද්ධොත්පාද කාලයන්හී උපතලබා, මෙවැනි මිත්‍යදෘශ්ඨීන්ගේ වහලුන් බවට පත්වී සිටි සැටි මෙනෙහි කරන්න. බුද්ධොත්පාද කාලයන් තුළත් දේවදත්ත, කෝකාලිත වැනි මිච්ජා ශ්‍රාවකයන් නිසා අවීචි මහා නිරයන්ට වැටුණු අජාසත්ත රජතුමන් ඇතුළු අවාසනාවන්තයින් කොතෙක්‌ සිටින්නට ඇතිද?
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අබුද්ධෝත්පාද කාලයන්හී සතර අපායන් පිරී ඉතිරීයනවාය කියලා. සතර අපායන් පිරී ඉතිරී යනකොට දිව්‍යථල වල දිව්‍ය විමාන පාළුවී යනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. අබුද්ධෝත්පාද කාලවල පාළුවට යන දිව්‍ය විමාන නැවත පිරී ඉතිරී යන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක්‌ ඇතිවීමත් සමගමයි. අබුද්ධොත්පාද කාලයක විශම චර්යාධර්මයන් සමග ගනිද්දී බුද්ධෝත්පාද කාලයක්‌ යනු මොනතරම් අසිරිමත් දෙයක්‌ද. දුක හඳුනාගෙන, දුක යටපත්කොටගෙන, සැපය මතුකොටගනිමින්, අවසානයේ දුකත් සැපත් දෙකේම අනිත්‍යභාවය දකිමින් ලෝකයෙන් නිවීයන ධර්ම මාර්ගය මොනතරම් අර්ථවත්ද. මේ උතුම් ධර්ම මාර්ගයට පිංවත් ඔබට පිවිසීමට අවශ්‍යනම් ඔබ අනිවාර්යයෙන්ම බුදුරජාණන්වහන්සේව හඳුනාගන්න ඕනේ. ධර්ම රත්නය, සංඝරත්නය හඳුනාගන්න ඕනේ. දකින්න ඕනේ. තුනුරුවන් දැකිය හැක්‌කේ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ර්විතයට එකතුකොටගැනීමෙන් පමණමයි. පිංවත් ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේගේ පිලිම වහන්සේලා දැක්‌කත්, ඔබ කොතෙක්‌ බුදුරජාණන්වහන්සේ දේශනාකළ සද්ධර්මය ශ්‍රවණය කළත් පිංවත් ඔබ උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට නොගත් පිංවතෙක්‌ නම් ඔබ සැබවින්ම බුදුරජාණන්වහන්සේ නොදැක්‌ක කෙනෙක්‌ බවටයි පත්වෙන්නේ. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් පමණක්‌මයි පිංවත් ඔබට තෙරුවන් හඳුනාගන්න, දකින්න, පුළුවන්කම ලැබෙන්නේ. උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයන්ගෙන් ගිළිහුණු ලෝකය මිථ්‍යදෘශ්ඨියේ ග්‍රහණයටයි යොමුවෙන්නේ.
මිහිඳු මහරහතන්වහන්සේ මේ පිංවත් දේශයට උතුම් සද්ධර්මය දායාදකොට දීමෙන් අනතුරුව අතීතයේ ජීවත්වූ පාලකයන්ගේ සහ ජනතාවගේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවයන් නිසාම, රාජ්‍ය අනුග්‍රහයක්‌ අර්ථවත්ව උතුම් සම්මාසම්බුද්ධ ශාසනයට නොලැබීම නිසාම, භික්‍ෂූන්වහන්සේලාගේ උතුම් උපසම්පදාව දුර්වලවී ශාසනය අතුරුදන් වීම අතීතයේ අවස්‌ථා කිහිපයකදීම මේ පිංවත් දේශය තුළ සිදුව තිබෙනවා. සම්මා දිට්‌ඨියේ දුර්වලභාවයන් නිසාම ඇතිවන හේතුඵල ධර්මයන් නිසා මෙවැනි ශාසනික අර්ථයන්ගේ අතුරුදන්වීම් සිදුවූවත්, උතුම් ශාසනික අර්ථයන් ආරක්‍ෂාකරන සම්‍යදෘශ්ඨික දෙවිවරුන්ගේ උපකාරක ධර්මයන් නිසාම අපේ ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්යයෙන් බුරුමය, තායිලන්තය වැනි ථේරවාදී බෞද්ධ රටවලින් නැවත උපසම්පදාව ලබාගෙන, නැවත සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම අර්ථයන් මේ පිංවත් දේශය තුළ ස්‌ථාපිත කිරීම කළ බව පිංවත් ඔබ හොඳින්ම දන්නවා. ඉහත කාරණා තුළින් පිංවත් ඔබ තේරුම්ගතයුතුයි රටක පාලක පිංවතුන් සහ ජනතාව සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් දුර්වලවුවහොත් එම පිංවතුන්ලා සම්මා සම්බුද්ධ ශාසනය දුර්වල කිරීමේ බලවත් පාපකර්මයේ හවුල්කරුවන් බවට පත්වෙනවාය කියන කාරණය.
පිංවත් ඔබ, බුදුරජාණන්වහන්සේ සාරාසංඛ කල්පලක්‍ෂ ගණනාවක්‌ තම රුධිරයෙන්, කඳුළින්, දහඩියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කළ දස පාරමී ධර්මයෙන්ගේ ඵලයෙන්, අවබෝධකොටවදාළ උතුම් සද්ධර්මයේ අර්ථයන් දුර්වල කිරීම පිණිස උපකාරක ධර්මයන් නොකරනවාය කියන අධිශ්ඨානය මේ උතුම් වෙසක්‌ දිනයේදී ඇතිකොටගන්න දක්‍ෂ වෙන්න. එය පිංවත් ඔබ සැබෑම උතුම් තෙමගුලක්‌ උදෙසා කරන පූජෝපහාරයක්‌ වෙනවා.
සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගේ දුර්වලභාවය නිසා උදාවෙන අබුද්ධොත්පාද කාලයන්හී ඇති විෂම බව, දුකබව, අකුසලය නිසා සකස්‌වෙන සතරඅපා දුකේ කටුක බව පෙන්වාදෙන උපමාවක්‌ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබට යම් පුද්ගලයෙක්‌ කියනවා, 'මම ඔබට දිනකට කස පහරවල් තුන්සියයක්‌ ගහනවා, දිනකට කසපහරවල් තුන්සීය බැගින් අවුරුදු තුන්සීයක්‌ එම දඬුවම දෙනවා. අවුරුදු තුනසීයක්‌ ගෙවීයන දින මම ඔබට උතුම් සෝවාන් ඵලය ලබාදෙනවා' කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, එහෙම වුනත් අවුරුදු තුන්සීයක්‌ එම තියුණු ශාරීරික දුක විඳලා ඔබ සෝවාන් ඵලය ලබාගන්න කැමතිවෙන්නය කියලා. මේ උතුම් වෙසක්‌ දිනයේදීත් සතුටින්, විනෝදයෙන්, විහිළුවෙන්, සිංදුවෙන්, බයිලාවෙන් ගතකිරීමට බලාපොරොත්තුවෙන පිංවතුන්ලාට බුදුරජාණන්වහන්සේ පෙන්වාදෙන ඉහත උපමාව හොඳ ධර්මාවාදයක්‌ වෙනවා. මෙම කටුක දුක පිංවත් ඔබට හෙළිකොටදෙන කැඩපත වන්නේ උතුම් සම්මාදිට්‌ඨියේ අර්ථයයි.
භික්‍ෂුව පිංවත් ඔබෙන් ඇසුවහොත් සම්මා දිට්‌ඨියේ අර්ථය කුමක්‌ද කියලා, පිංවතුන් සමහරක්‌දෙනා දෙනා පිළිතුර වන්නේ සම්මා දිට්‌ඨිය කියන්නේ යහපත් දැක්‌ම කියලයි. බුදුරජණාන්වහන්සේ ධර්මයට අදාළව සම්මා දිට්‌ඨියේ අර්ථය කියන්නේ 'යහපත් දැක්‌ම' නොවෙයි. නමුත් අන්‍යාගමික පිංවතුන්ලා තමන්ගේ සම්මා දිට්‌ඨිය හැටියට ප්‍රකාශකරන්නේ යහපත් දැක්‌ම කියන කාරණයයි. බුදුරජානන්වහන්සේ දේශනාකළ සම්මා දිට්‌ඨියේ අර්ථයන් හතක්‌ තිබෙනවා.

එම අර්ථයන් වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, යහපත් දෙයක්‌ කළොත් යහපත් විපාකයක්‌, අයහපත් දෙයක්‌ කළොත් අයහපත් විපාකයක්‌ තිබෙනවාය කියන විශ්වාසය.

හේතුඵල ධර්මයන්ට අදාළව නැවත උපතක්‌ තිබෙනවාය කියන විශ්වාසය

දන්දීමෙන්, සිල්රැකීමෙන් ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය.

අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳව විශ්වාසය.

ඕපපාතික සත්වයන් උපදිනවාය කියන විශ්වාසය.

අතීතයේ රහතන්වහන්සේලා වැඩසිටියාය කියන විශ්වාසය.

ඉහත සම්මා දිට්‌ඨියේ අර්ථයන් සියල්ලම බුදුරජාණන්වහන්සේ දේශනාකොට ඇත්තේ බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය මුල්කොටගෙනය. පිංවත් ඔබගේ කුසල් පක්‍ෂය වැඩෙන ආකාරයටමය.
පිංවත් ඔබට මෙතැනදී විග්‍රහ කර පෙන්වනනේ භවයේ සැපය උදෙසා හේතුවෙන ලෞකික සම්මා දිට්‌ඨිය පිළිබඳවයි. ලෞකික සම්මා දිට්‌ඨියේ මුල්ම අර්ථය වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, පිංවතුන් තුළ සංසාර බිය පිළිබඳවත්, කාමයන්ගේ නිසරුභාවය පිළිබඳවත් දැක්‌මක්‌ ඇතිකොටදෙනවා. සතරඅපාය කෙරෙහි ඇතිකරවන බිය නිසාම පිංවතුන් දුක පිළිබඳව යථාස්‌වභාවය නුවණින් දකින්න පටන්ගන්නවා. යහපත් ක්‍රියාවන් විපාකදෙන සුගතිභූමීන්, අයහපත් දේ විපාකදෙන දුගති භූමීන් ඔබ හඳුනාගන්නවා. ඔබ තුළ සකස්‌වෙන සෑම සැප වේදනාවක්‌ම අතීතයේ ඔබ කළ යහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත්, ඔබ තුළ සකස්‌වෙන සෑම දුක්‌වේදනාවක්‌ම අයහපත් දෙයක ප්‍රතිඵලයක්‌ බවත් ඔබ හඳුනා ගන්නවා. මෙතැනදී පිංවත් ඔබ අයහපත්දෙයින් වැලකිලා, යහපත් දෙයයි ජීවිතයට තොරාගන්නේ. පටිච්ජ සමුප්පන්නව නැවත උපතක්‌ කෙරෙහි පිංවත් ඔබ තුළ ඇත විශ්වාසය ඔබව පොළඹවනවා අකුසලයෙන් වැලකිලා කුසලය තුළ ශක්‌තිමත් වෙන්න. මොකද ඔබ දන්නවා, අකු-සල් සිදුකළොත්, සිල්පද දුර්වල කරගත්තොත්, දන්දීම දුර්වලකරගත්තොත් ඊළඟ උපත දුර්වල උපතක්‌ වෙනවාය කියන කාරණය. කුසලයේ සැපයත්, අකුසලයේ දුකත් ඔබට විවරකොටදෙන බුදුරජාණන්වහන්සේගේ මුල්ම පාඩමයි උතුම් සම්මා දිට්‌ඨිය.


ලස්‌සන වෙසක්‌ සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්‌ම දකින්න
පාසල් දරුවෙක්‌ භික්‌ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්‌ඨියේ ලක්‌ෂණයක්‌ වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක්‌ බ්‍රහ්මයෙක්‌ විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින ප්‍රේතයන් නිරිසතුන් ගැන ඔබට විශ්වාසයක්‌ නැති නම් ඔබට ප්‍රේත ලෝකයක්‌, නිරයක්‌ තිබෙනවාය කියල විශ්වාසය නැතිව යනව. ඒ නිසාම ඔබ අකුසලයට බිය නැතිවෙනවා. ඕපපාතික සත්ව උපත තුළිනුත් බුදුරජාණන් වහන්සේ ඔබ තුළ අකුසලය බැහැරකොට කුසලය මතුකොට දීමටයි උත්සාහ ගන්නෙ. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය කියන කාරණය ගන්න. බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාපකර්ම ගැන දේශනාකොට මුලින්ම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම, දෙවැනිව රහතන් වහන්සේ මැරීම, තෙවැනිව සංඝ භේදය, හතරවැනිව අම්මා, තාත්තා ඝාතනය කිරීම. මෙතනදී බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ මැරීමත්, අම්මා තාත්තා මැරීමත් කියන කාරණයන් දෙකම සම අකුසලයන් හැටියට පෙන්වා දී තිබෙනවා. අම්මා තාත්තාත් රහතන් වහන්සේත් සම තැනක තියලයි බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්ම ගැන දේශනා කරලා තිබෙන්නෙ. එහෙමනම් පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ දිනයේදී දැනගන්න ඕනෙ, ඔබ කුඩා පාසල් දරුවෙක්‌ වේවා, තරුණ කෙනෙක්‌ වේවා, වැඩිහිටියෙක්‌ වේවා තමන්ගෙ දෙමව්පියන්ට පීඩා කරනවා නම්, හිංසා කරනවා නම්, සිත් වේදනා දෙනවා නම්, නොසලකා හරිනවා නම්, එය රහතන්වහන්සේ නමකට ඔබ කරන පීඩාවක්‌ හිංසාවක්‌ තරමටම බලවත් අකුසලයක්‌ වෙනවාය කියන කාරණය. උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් ජීවිතයට එකතුකොට ගැනීමෙන් පමණක්‌මයි පින්වත් ඔබට මව් දෙමව්පියන් නිසා සිදුවෙන බලවත් අකුසලයන්ගෙන් මිදෙන දිශාවට ගමන් කළ හැකිවෙන්නේ. අම්මා තාත්තා නමැති කුසල් නිධියෙන් සිත්සේ කුසල් ධර්මයන් එකතුකොට ගතහැකි වෙන්නෙ. අතීතයෙ රහතන් වහන්සේලා ඇතුළු අධිගමලාභීන් සිටියාය කියන විශ්වාසය ඔබ තුළ තිබුණොත් පමණමයි, පින්වත් ඔබටත් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදීම රහතන්වහන්සේ නමක්‌ වීමට හැකිය යන විශ්වාසය ඇතිවෙන්නේ. ඔබටත් සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්ය කියන විශ්වාසය ඇතිවෙන්නෙ. ඉහත සම්මාදිට්‌ඨියට අදාළ කාරණා තුළින් පින්වත් ඔබට තේරෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබ තුළ මුලින්ම තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇතිකොට අවසානයේ ඔබව උතුම් රහතන් වහන්සේ නමක්‌, සෝවාන් පුද්ගලයෙක්‌ කියන ඉලක්‌කයට ඔබව යොමුකොට තිබෙනවාය කියන කාරණය. පින්වත් ඔබ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරව ගියොත්, තෙරුවන් කෙරෙහි අවිශ්වාසය ඇතිකොට ගෙන, අවසානයේ ඔබව සතර අපායට යොමු කිරීමයි සිද්ධවෙන්නෙ. පින්වත් ඔබ ශ්‍රද්ධාවේ සහ අශ්‍රද්ධාවේ වෙනස සහ පරතරය හඳුනාගෙන ශ්‍රද්ධාව ඉලක්‌කකොට පෙන්වන සතර අපාය කියන අර්ථයන් සිහි නුවණින් දකිමින්, නිවැරදි ආකාරයට සම්මා දිට්‌ඨියේ අර්ථයට ප්‍රවේශ වීමට පින්වත් ඔබ මේ උතුම් වෙසක්‌ සතියේදී අධිෂ්ඨානයක්‌ ඇතිකොට ගතහොත් එය පින්වත් ඔබ විසින් බුදුරජාණන් වහන්සේට දක්‌වන ශ්‍රේෂ්ඨතම ආමිසමය ප්‍රතිපත්තිමය පූජාව වෙනවා.
පින්වතුන්ලාගේ ඉන්ද්‍රියධර්මයන්ගේ ඇති වෙනස්‌භාවයන් නිසාම, කෙනෙක්‌ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජා පවත්වා සතුටු වෙන අතර තවත් පින්වතෙක්‌ ආමිස පූජාවෙන් බුදුරජාණන් වහන්සේට පූජාවන් පවත්වා සතුටුවෙනවා. මෙතැනදී ප්‍රතිපත්ති පූජාවන් හැටියට ගැනෙන්නේ විදර්ශනා නුවණ, ප්‍රඥව ඔබ තුළ මූදුකොට දෙන භාවනාමය, ශීලමය, සද්ධර්ම ශ්‍රවණය කිරීම් තුළින් ඔබ ඇතිකොට ගන්නා විදර්ශනා නුවණින් බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දැක්‌වීමයි. නමුත් පින්වත් ඔබ ශීලමය, භාවනාමය, සද්ධර්ම ශ්‍රවණමය ක්‍රියාවන් තුළිනුත් ඇතිකොට ගන්නේ ආශ්වාදයක්‌ නම් ඒවා ජීවිතයට එකතුකොට ගැනීම නිසා ඇතිවෙන කුසල් ආශ්වාදයට ඔබ බැඳී යන්නේ නම්, එම කුසල් සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ඔබ විදර්ශනා නුවණින් නොදකින්නේ නම් ඔබ කළා වූ ප්‍රතිපත්ති පූජාවද නැවත භවය සකස්‌කොට දෙන ආමිස පූජාවක්‌ බවටම පත්වනු ඇත. එම නිසා පින්වත් ඔබ සිල් සමාදන් වෙමින් ශීලයේ ආනිශංස ජීවිතයට ලබමින් එම ආනිශංසයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. බුදුගුණ භාවනාව වඩමින්, මෛත්‍රි භාවනාව වඩමින්, ආනිශංස ජීවිතයට ලබමින් එම සංස්‌කාරයන්ගෙ අනිත්‍යභාවය නුවණින් දකින්න. කාය, චිත්ත, ධම්ම, වේදනා සතර සතිපට්‌ඨාන ධර්මයන් වඩමින්, සප්ත බෝ-ජංග ධර්මයන් ජීවිතයට එකතුකොට ගනිමින්, සතර සතිපට්‌ඨාන ධර්මයන්ගේත්, සප්aත බො-ජංග ධර්මයන්ගේත් අනිත්‍යභාවය නුවණින් දකින්න. පින්වත් ඔබ භාවනාවේදී යම් ධර්මතාව අනිත්‍ය දකිනවාද, එම අනිත්‍ය දකින සිතත් අනිත්‍ය වශයෙන් දැකීමට දක්‌ෂ විය යුතුයි. එසේ නොවුණහොත් ඔබ අනිත්‍ය වශයෙන් දැක්‌කා වූ සිතට බැඳී යනු ඇත.
පින්වත් ඔබ දක්‌ෂ නම් ඔබ වෙසක්‌ මංගල්‍ය උදෙසා සිදුකරන ආමිස පූජාවන් තුළින් ද ප්‍රතිපත්ති පූජාවන් මතුකොට ගැනීමට ඔබට හැකිය. පින්වත් ඔබ වෙසක්‌ කූඩුවක්‌ තැනීමේදී, ප්‍රදර්ශනය කිරීමේදී, දන්සලක්‌ සංවිධානය කිරීමේදී, මේ සෑම ක්‍රියාවක්‌ සිදුකිරීමට පෙරාතුව, තෙරුවන් සරණ පිහිටා පංචශීලය සමාදන්ව එම ආමිස පූජාව ආරම්භ කරන්න. අතීතයේ සම්මා සම්බුද්ධ ශාසන ලක්‌ෂ ගණනකට දී අද වගේම උතුම් තෙමඟුල් සැමරීම උදෙසා ලක්‌ෂ ගණන් පහන් කූඩු වෙසක්‌ සැරසිලි දන්සල් බුද්ධ පූජාවන් පූජා කළ හැකි නුවණින් දකින්න. ඒ අතීත සම්මා සම්බුද්ධ ශාසන අනිත්‍යයට ගියා සේම අතීතයේදී ආමිස පූජාවන් තුළින් රැස්‌ කළා වූ කුසල් සංස්‌කාරයන් අනිත්‍ය වී ගිය හැටි නුවණින් දකිමින් මේ මොහොතේ පිංවත් ඔබ ආමිස පූජාවන් තුළින් රැස්‌කොට ගන්නා කුසලයන් අනිත්‍ය වී යනහැටි නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේ උදෙසා, ධර්මරත්නය, සංඝරත්නය උදෙසා තුණුරුවන්ට ගෞරවය පුදකිරීම උදෙසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන සෑම ආස්‌වාදජනක පිනක්‌ම, කුසල් සිතක්‌ම සංස්‌කාරයන් බව දකිමින්, එම සංස්‌කාරයන් විපාක දී අවසන් වන ඒවා බව දකිමින් පින්වත් ඔබ මේ උතුම් තෙමඟුල සමරන සතියේ ඔබ සිදුකරන ආමිස පූජාව තුළින් ද උතුම් ප්‍රතිපත්ති පූජාවක්‌ මතුකොට ගන්න දක්‌ෂ වෙන්න. එවිට ලස්‌සන වෙසක්‌ සැරසිල්ලක්‌ තුළින්, අර්ථවත් ධර්මයක්‌ ද ඔබගේ ජීවිතයට එකතුකොට ගෙන උතුම් සම්මා දිට්‌ඨියේ අර්ථයන් තුළින් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට ඔබේ ජීවිතය සේන්දුකොට ගැනීමට හැකිවනු ඇත.


ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ