පරම පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද අප ගෞතම බුදු රජාණන් වහන්සේගේ ධර්මය චිරාත් කාලයක් ලෝකවාසී පුණ්‍යවන්තයින් සියල්ලන්ටම හිත සුව පිණිසත් නිර්වාණය පිණිසත් සුරැකේවා......

සැවොම මේ දුර්ලභ වූ මිනිසත් භවයෙන් උපරිම ඵල නෙලා ගනිත්වා !

චීවරය සෝද සෝද මඩේ දැමීම නවතමු !

මහරහතුන් වැඩි මග ඔස්‌සේ 
සතර අපායෙන් මිදෙමු 117 කොටස 
පිංවත් ඔබේ භික්‍ෂු ජීවිතයට ඔබ නැවත හැරෙන්න. කොතනකවත් ඔබට වැරදීමක්‌ වෙලා නැහැ. ඔබ නිවරැදි තැනයි සිටින්නේ. නිවරැදි තැන කියන්නේ ඔබ සිතන්න දක්‍ෂ තැනයි ඔබ සිටින්නේ. ඔබ සිතනවානම් ඔබ ඉන්නේ වැරදි තැනකයි කියලා මෙතෙක්‌ ඔබ සිතුව ක්‍රමය වෙනස්‌කර ගන්න. ජවය, නිවැරදි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉලක්‌කය කරා යොමුකර ගන්න. අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබත් මමත් ඉපදිලා දස දහස්‌ වතාවක්‌ පැවිදිවෙලා සිටින්නට ඇති. බුදුරජාණන් වහන්සේලාගෙන්, රහතන් වහන්සේලාගෙන් කමටහන් අරගෙන අපි භාවනා කරන්න ඇති. ඒත් කොතනක හෝ අපිට වැරදිලා තිබෙනවා. මග නොමග අපි පටලවගෙන තිබෙනවා. ඒ නිසාම අතීතයේ සම්මාසම්බුද්ධ ශාසනවලදී උපසම්පදාව ලබා අපි පෙරවු චීවර සෝද සෝදා මඩේ දැමීමක්‌ තමයි අපි කරල තිබෙන්නේ. මෙවරත් අපි, අපිම අතීතයේ මඩේ දැමූ චීවරය නැවත සෝදා දරාගෙන සිටිනවා. මෙවර ඔබ ස්‌ථිර තීරණයකට එන්න නැවත මේ උතුම් චීවරය මඩේ දමන්නේ නැහැය කියල. 
සම්මා දිට්‌ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක්‌ ඇතිවෙන්නේ නැහැ. සම්මා සංකප්පයන්ගෙන් තොරව කවදාකවත් සම්මා වාචාවක්‌ සකස්‌වෙන්නේ නැහැ සම්මා වාචාවන්ගෙන් තොරව සම්මා කම්මන්තයක්‌ සකස්‌වෙන්නෙ නැහැ. මේ සියල්ලන්ගෙන්ම තොරව සම්මා සතියත්, සමාධියක්‌, සම්මා ඥාණ සම්මා විමුක්‌තියක්‌ සකස්‌වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයන් ගලපමින් බුදුරජාණන් වහන්සේ මාර්ගය බොහෝම පැහැදිලිව දේශනා කර තිබෙනවා. මුතු වැලක්‌ අමුණලා තිබෙනවා වාගේ මාර්ගය පැහැදිලිව තිබෙනවා.
භික්‍ෂුව දන්නා එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ සිටියා. උන්වහන්සේ පැවිදිවීමට පෙර අන්‍යාගමික කෙනෙක්‌. බුදුදහම ගැන පැහැදිල මේ පිංවතා පැවිදිවෙනවා. උන්වහන්සේ වැඩ සිටියේ කැලයේ ඈත කුටියක. තුන්සිවුරයි පාත්‍රයයි පරිහරණය කළේ. එක වේලයි වැළඳුවේ. හුදකලාව වැඩසිටි උන්වහන්සේගේ කුටියට අහම්බෙන් යද්දි උන්වහන්සේගේ කුටියේ අන්‍යාගමික ආගමික නායකකුගේ රාමු කරපු කුඩා ජායා රූපයක්‌ තිබෙනවා. භික්‍ෂුවත් උන්වහන්සේගෙන් විමසල තිබෙනවා ඇයි ඔබ මේ ජායාරූපය තබාගෙන සිටින්නේ කියල. උන්වහන්සේ කියනවලු මේ ජායාරූපය දැක්‌කම මගේ සිත හොඳින් සමාධිගත වෙනවා කියල. බලන්න සම්මා දිට්‌ඨියෙන් තොරව ඒ ස්‌වාමීන්වහන්සේ සම්මා සතියත් සම්මා සමාධියත් හොයනවා. කවදානම් මේ කාරණය සිද්ධවෙයිද? තවම අමුලිකා සද්ධාව කියන තැනයි උන්වහන්සේගේ ජීවිතය තිබෙන්නේ. 
මුලින්ම වැදගත් වන්නේ සමාධිය නොවේ. වැදගත් වෙන්නේ උතුම් සද්ධාවයි. සද්ධාවෙන් ජීවිතය පෝෂණය වුණ තැනයි සතිය සම්මා සතියක්‌ බවට, සමාධිය සම්මා සමාධියක්‌ බවට පත්වෙන්නේ. එතෙක්‌ අපි සම්මා සමාධියේ නාමයෙන් මිච්චා සමාධියක්‌ තුළ සිහින දකිනවා. මිච්චා සමාධියක්‌ තුළ මාර්ගඵල සොයනවා. පිංවත් ඔබ තුළ සම්මා දිට්‌ඨියේ දුර්වල තැන්වලට පිළියම් සොයන්නේ නැතිව සමථ විදර්ශනා ගැන සොයන්න යන්න එපා. සමථ විදර්ශනාවට වැය කරන කාලය තෙරුවන් කෙරෙහි සද්ධාව අර්ථවත්ව තියුණු කරගැනීමට යොදවන්න.
වරක්‌ භාවනා යෝගී ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා බෝධිවන්දනාව මිථ්‍යදෘෂ්ටියක්‌ කියලා. භික්‍ෂුව උන්වහන්සේගෙන් විමසුවා ජයශ්‍රී මහා බෝධින්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවාගෙන පැමිණි සංඝමිත්තා මහරහත් භික්‍ෂුණීයන් මිථ්‍යාදෘෂ්ටිකද කියලා. උන්වහන්සේට දෙන්න පිළිතුරක්‌ තිබුණේ නැහැ. සම්මාදිට්‌ඨියෙන් තොරව සතිය සමාධිය සොයායැමේ අනතුරයි ඔබ මේ දකින්නේ. 
මේ ලෝකයේ ජීවත්වුණ ගෞරවණීය ස්‌වාමීන්වහන්සේ නමක්‌ සිටියා. උන්වහන්සේ ධුතාංගධාරී වනවාසී ස්‌වාමීන් වහන්සේ නමක්‌. උන්වහන්සේ සතිය ගැන සමාධිය ගැන බොහෝම ඉහලින් කථාකළා. නමුත් සද්ධාව ගැන කථාකළේ හුඟාක්‌ අඩුවෙන්. සංසාරබිය ගැන කථාකළේ හුඟාක්‌ අඩුවෙන්. මේ ගෞරවණීය ස්‌වාමීන්වහන්සේ අපවත් වෙනවා. අපි දන්න එක ස්‌වාමීන් වහන්සේ නමක්‌ උතුම් සමාධියෙන් අරමුණු කර බලලා තිබෙනවා මේ අපවත් වූ ස්‌වාමීන් වහන්සේ නැවත උපත ලැබුවාද පිරිනිවන් පෑවාද කියලා. මේ වෙලාවේ ඒ ස්‌වාමීන් වහන්සේ දකින්නේ අරූප බ්‍රහ්මතලයක උප්පත්තිය ලබල තිබෙනවා. මොකද මෙතනදි වෙලා තිබෙන්නේ?
උන්වහන්සේ වැඩිපුරම කතාකළ සතියත් ,සමාධියත් සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. එහෙම පෝෂණය වුණානම් උන්වහන්සේ මාර්ගඵලලාභී දෙවියන් අතරයි උපත ලබන්නේ සමහර විට පිරිනිවී යන්නත් තිබුණා.
අරූපි බ්‍රහ්මතලවල උපත ලබා ඇති බ්‍රහ්මයින්ට ඝනරූප සංඥාවක්‌ නැහැ. අරූපි බ්‍රහ්මතලවල බ්‍රහ්මයින්ට සමාධියට අරමුණු වෙන්නේ එරමිණියා ගොතාගෙන සිටින සියුම් මීදුමෙන් හැදුනාවු රූපයක්‌ වශයෙන්. සමහර පිංවත් ස්‌වාමීන් වහන්සේලා අදහස්‌ දක්‌වනවා අරූපි බ්‍රහ්මතලවල ජීවත්වන බ්‍රහ්මයින්ට රූපයක්‌ නැහැය කියල. භික්‍ෂුව ඒ මතයට එකඟ නැහැ. බුදුරජාණන් වහන්සේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මය අනුව මේ ලෝකයේ සෑම සත්වයෙක්‌ම නාමරූප පච්චයා සලායතනා , සලායතන පච්චයා පස්‌ස කියන ධර්මතාවයන්ට යටත්වයි ජීවත්වෙන්නේ. ආයතන හයෙන් තොර සත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ සිටින්නට බැහැ. යමෙක්‌ ප්‍රකාශ කරනවානම් අරූපීබ්‍රහ්මතලවල ජීවත්වන බ්‍රහ්මයිනුත් රූපය තුළයි ජීවත්වෙන්නේ. නමුත් රූපයෙන් බැහැරව සිත පිහිටන නිසා රූපය ප්‍රකට වෙන්නේ නැහැ.
(මෙම ලිපි මාලාව යටතේ පළවන මෙම ලිපිය, පැවිදි ජීවිතවලට උපකාරයක්‌ වන ලෙසින් සටහනක්‌ තබන ලෙස තවත් භික්‍ෂුවකගෙන් ලද ආරාධනයක්‌ මත ලියෑවුණු දීර්ඝ ලිපියකින් කොටසකි. නමුත් ගිහි ජීවිතවලටද ඉන් ලබාගත හැකි හරයන් පිළිබඳව කරුණාවෙන් යුතුව මේ සටහන් තබන පිංවත් භික්‍ෂූන්වහන්සේ විසින් මෙය අප අතට පත් කරන ලදී.)

මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 118 කොටස
තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැතැයි යන සිංහනාදය කරන්න

අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්‌ çයෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත්කම, අනුපිළිවෙළින් මාර්ගය වැඩීමේ වැදගත්කම නුවණින් දකින්න.
ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා, ඔබ වහන්සේගේ සූත්‍ර පිළිබඳ දැනුම කොහොමද කියලා. භික්‍ෂුව පැවිදිවෙලා මාස හයක්‌ පමණ යනතුරු කිසිම සූත්‍රයක්‌ කියවල තිබුණේ නැහැ. ස්‌වාමීන් වහන්සේලා හරහා සද්ධර්ම ශ්‍රවණය කිරීම පමණයි, කර තිබුණේ. පැවිදිවෙලා මාස නවයකට විතර පස්‌සේ භික්‍ෂුව සබ්බාවශ්‍රව සූත්‍රය කියවද්දී භික්‍ෂුවට දැනුණේ එම සූත්‍රය භික්‍ෂුව ලියපු සූත්‍රයක්‌ කියලයි. සතර සතිපට්‌ඨාන සූත්‍රය කියවන විට භික්‍ෂුවට එම සූත්‍රය තමා ලියපු සූත්‍රයක්‌ වශයෙනුයි දැනුණේ. එම සූත්‍රය කියවලා නැති වුණත් එම සූත්‍රවල අර්ථය භික්‍ෂුවගේ ජීවිතය තුළ තිබුණා. පිංවත් ඔබ ආර්යඅෂ්ටාංගික මාර්ගය තුළ සිටියොත් මුළු සූත්‍ර පිටකයේම අර්ථය ඔබේ ජීවිතය තුළ තිබෙනවා. පිංවත් ඔබ අර්ථවත්ව ආර්යඅෂ්ටාංගික මාර්ගය තුළ හික්‌මුණොත් නිරතුරුවම බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ සිටිනවා.
ස්‌වාමීන් වහන්සේ නමක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා, අපි අතහැරීම පටන් ගත යුත්තේ කොහොමද කියලා. මුලින්ම ඔබ 'මිච්චා සම්මාදිට්‌ඨිය' අතහැරල ලෞකික සම්මා දිට්‌ඨියට පැමිණිය යුතුයි. දෙවැනිව ලෞකික සම්මාදිට්‌ඨියත් අතහැරලා, ලෝකෝත්තර සම්මාදිට්‌ඨියට පැමිණිය යුතුයි. ආර්යඅෂ්ටාංගික මාර්ගයේ මාර්ග අංග අටම ඉහත ආකාරයට ඔබ තුළින් ක්‍රියාත්මක විය යුතුයි.
පිංවතෙක්‌ ඇසුවා, හාමුදුරුවනේ 'මිච්චා සම්මාදිට්‌ඨිය කියන්නේ කුමක්‌ද' කියලා. පිංවත් ඔබ දැකල ඇති සමාජයේ සමහරු සිටිනවා සර්ව ආගමික සරණයැමක්‌ ගැන කතාකරන. සියලුම ආගම් එක සමානයි කියන මත දරන අය සිටිනවා. විශේෂයෙන් දේශපාලනයේදී මෙවැනි මත ප්‍රකාශ වෙනවා. මොකද සෑම ආගමකම අයෙක්‌ගේ ප්‍රසාදය දිනාගන්න. සමහරු සිටිනවා, පසළොස්‌වක පොහොය දවසට පන්සලට යනවා. ඉරිදාට පල්ලියට යනවා. සිකුරාදාට කෝවිලට යනවා. මෙවැනි අය වැටෙන්නේ මිච්චා සම්මාදිට්‌ඨියටයි. ඔබ දක්‍ෂ වෙන්න ඕනේ කුමන අභියෝගයක්‌ හමුවේ වුවද අර්ථවත් ආකාරයෙන් 'තෙරුවන් සරණ මිස මට අන් සරණක්‌ නැතැ'යි කියන සිංහනාදය ප්‍රකාශ කරන්න.

මැරුනාට පසුව අපි නැවත ඉපදෙන්න පුළුවන් නොඉපදෙන්නත් පුළුවන්. දන් දුන්නොත්

සිල් රැක්‌කොත් එහි විපාක තිබෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. හොඳ නරක දේවල් කළොත් එහි හොඳ නරක විපාක තිබෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. මෙවැනි ප්‍රශ්නාර්ථ සහිත සිතිවිලි ඔබව මිච්චා සම්මා දිට්‌ඨියේ කොටස්‌කරුවන් බවට පත්කරනවා. මිච්චා සම්මාදිට්‌ඨිය හෙවත් අමූලිකා ශ්‍රද්ධාව ඔබව මිථ්‍යදෘෂ්ඨියටයි, දුගතියටයි ඇද දමන්නේ. ලෞකික සම්මාදිට්‌ඨිය ඔබව සුගතියටයි රැගෙන යන්නේ. ලෝකෝත්තර සම්මාදිට්‌ඨිය හෙවත් අචල සද්ධාව ඔබ තුළ විදර්ශනා ණුවනයි සකස්‌ කරන්නේ. අචල සද්ධාව කියන්නේ විදර්ශනා නුවණින් පෝෂණය වුණ සද්ධාවයි. මෙතැනදී පිංවත් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ ලෞකික සම්මාදිට්‌ඨියට අයත් වන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මැරිලා හේතුඵල ධර්මයන්ට අනුව නැවත උපදිනවාය කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්‌කොත් එහි ආනිසංශ තිබෙනවාය කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තිබෙනවාය කියන විශ්වාසය, ඉහත ධර්මතාවයනුත් විපාක සකස්‌කරදී අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාර ධර්මයන්ය කියල දකින්න. එවිට ඔබ මේ සුගතියේ සංස්‌කාරයන්ට බැඳෙන්නේ නැහැ. ඒ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාරධර්මයන්ය කියල දකින්න. එවිට ඔබ මේ සුගතියේ සංස්‌කාරයන්ට බැඳෙන්නේ නැහැ. ඒ සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකින මොහොතේ ඔබ තුළ විදර්ශනා නුවණයි සකස්‌වෙන්නේ. මෙතැනදි ඔබ දක්‍ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දෙතිසක්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබළන්නා වු රූපකායත් අට්‌ඨිකසංඥාවෙන් දකින්න. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගාණක්‌ පාරමීදම්පුරල ඇතිකරගත් දෙතිසක්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබළන සම්මාසම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අළුගොඩක්‌, ධාතූන් වහන්සේලා ගොඩක්‌ වුණාය කියල දකින්න. අති දීර්ඝ පාරමී ගමනක ඵලය වූ ඒ උතුම් සම්මා සම්බුද්ධ ඤාණයන් පිරිනිවන් මංචකයේදී අනිත්‍යභාවයට පත්වුණාය කියන කාරණය දකින්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේටත් පොදුවූ මේ ධර්මතාවන් ඔබේ ජීවිතයට ගලපා ගනිමින් අවබෝධය ලබාගන්න. පිංවත් ඔබ මේ යථාර්ථය දකින්න බයනම් කවදාකවත් ඔබට විදර්ශනා නුවණ ප්‍රඥාව ඇතිකර ගැනීමට හැකියාව ලැබෙන්aනේ නැහැ.
බුදුරජාණන්වහන්සේගේ උතුම් රූපකායත්, ජාති ජරා, ව්‍යාධි, මරණවලට යටත් රූපකායක්‌ය කියලා ඔබ දකින්න ඕනේ. මෙය සටහන් තබන භික්‍ෂුවට මේ මොහොතේ බුදුරජාණන්වහන්සේගේ රූපකාය සිහිපත් වුණොත් ඊළඟ සිතිවිල්ල සකස්‌ වෙන්නේ පිරිනිවන් මංචකයේ විසිරිලා තිබෙන අළු ටික, ධාතූන්වහන්සේලා සිහිපත් වෙලයි. ඊළඟ සිත සකස්‌වෙන්නේ එම ධාතූන් වහන්සේලාත් අනිත්‍යයි. කියන සිත සකස්‌වෙලා. සිත බැඳී යන්න, සිත රැඳී යන්න තැනක්‌ නැහැ. මුලින්ම ඔබ ඔබේ මස්‌ ඇසෙන් පෙනෙන රූපයේ අනිත්‍යභාවය දකින්න. මස්‌ ඇසෙන් දකින රූපයේ අනිත්‍යභාවයයි, එහි ඵලයයි කවදාහරි දවසක ප්‍රඥාවේ ඇසෙන, ඤාණදර්ශන තුළින් රූපයේ සැබෑම බිඳීයැමේ වේගය දකින ඤාණයක්‌ ඔබ තුළ සකස්‌ කොට දෙන්නේ.

රූපයේ අනිත්‍යභාවය වැඩීමේදී පිංවත් ඔබ නිරතුරුවම බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළ සතර සතිපට්‌ඨාන සූත්‍රයට අදාළව කටයුතු කරන්න. 


මහරහතුන් වැඩි මග ඔස්‌සේ
සතර අපායෙන් මිදෙමු 119 කොටස

තෘෂ්ණාවෙන් තෙත් නොවුණු සතියමය...
එක පිංවතෙක්‌ ධර්ම සාකච්ජාවක්‌ අවස්‌ථාවෙදී දැඩිව ප්‍රකාශ කළා, බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිව, බුදුරජාණන්වහන්සේව අනිත්‍ය වශයෙන් දකින්නේ කොහොමද කියලා.
මෙවැනි අන්තයන්ට ඔබ කොටුවෙන්න එපා. එම පිංවතා ප්‍රකාශ කරන ආකාරයට බුදුරජාණන්වහන්සේ කියලා කෙනෙක්‌ නැතිනම්, හතලිස්‌ පස්‌ වසරක්‌ මේ උතුම් සද්ධර්මය ලෝකයට බෙදලා දුන්නේ කව්ද? මේ ලෝක සත්වයාට උතුම් මහා කරුණා ගුණය බෙදාදුන්නේ කව්ද? එම නිසාමයි පිංවත් ඔබට මතක්‌ කළේ, අනිත්‍ය සංඥාව වැඩීමේදී සතර සතිපට්‌ඨාන සූත්‍රය ගුරු ඇසුරට ගන්නය කියලා. අපි යම් මොහොතක සෝවාන්ඵලයට පත්වුණාය කියන්නේ , තමා තුළ ඉන්ද්‍රිය ධර්මයන් සම ආකාරයට වැඩෙන්න ඕනේ. එමනිසා සද්ධාවත්, වීර්යයත්, සති සමාධි කියන ධර්මතාවයන් විනිවිද දකින්න, විදර්ශනා නුවණ ප්‍රඥාව මතුකොට ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි. ඉහත සද්ධා, වීර්යය, සති, සමාධි කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමිනුයි අපි එම ධර්මයන් තුළ ජීවත් විය යුත්තේ. එම අනිත්‍යය දැකීමයි, ප්‍රඥාව මෝදු කරගැනීමට අපට උපකාරවෙන්නේ. 
සතියයි, සම්මා සතියයි කියන්නේ අහසට පොළොව වගේ වෙනස්‌ දෙකක්‌. නමුත් සතිය අවශ්‍යයි සම්මා සතිය ඇතිකොට ගැනීමට. සතියත් විදර්ශනා නුවණින් දැකීම තුළයි සම්මා සතිය ඇතිවෙන්නේ. 
භික්‍ෂුව වරක්‌ එක්‌ ආරණ්‍යයක වැඩසිටියා. භික්‍ෂුව එම ආරණ්‍යයට වඩිනකොට එක්‌ තරුණ භික්‍ෂූන්වහන්සේ නමක්‌ එම ආරණ්‍ය භූමිය ඉදිරිපස ඉදලකින් අතුගාමින් සිටියා. භික්‍ෂුව උන්වහන්සේ ඉදිරියට ගියත් උන්වහන්සේ හිස ඔසවා බැලුවේ නැහැ. බිම බලාගෙන එම අතුගෑමේ ක්‍රියාවේම යෙදෙමින් සිටියා. එම ස්‌වාමීන්වහන්සේගෙන් කිසිම ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා, භික්‍ෂුව තනියම ආරණ්‍ය තුළට වැඩියා. උන්වහන්සේ බොහොම සතියෙන් සිහියෙන් යුක්‌තවයි එම අතුගෑමේ ක්‍රියාව සිදුකරන්නේ. එතැන zමගේ සතිය කියලා ලොකු අල්ලා ගැනීමක්‌ තිබෙනවා. එම සතිය තුළ තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. 
ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. පැවිදි කෙනෙක්‌ යම් කටයුත්තක්‌ කළ යුත්තේ වේගයෙන්ද, එහෙමත් නැතිනම් සෙමින්ද කියලා. සැබැවින්ම මේ දෙකම අන්ත දෙකක්‌. ඇලීම ගැටීම බැසගන්නා වූ අන්ත දෙකක්‌. ධර්ම මාර්ගයේ ඇවතුම් පැවතුම් ක්‍රියාත්මක විය යුත්තේ, මධ්‍යම ප්‍රතිපදාවට යටත්වයි. එම නිසා වේගයෙනුත් නොවී, සෙමෙනුත් නොවී සාමාන්‍ය වේගයෙන් ඒවා සිදුකරන්න. මොකද සතිය තුළ තෘෂ්ණාව බැසගෙන තිබෙනවා. තෘෂ්ණාව හීනවූ සතිය සම්මා සතියයි. සමහරවිට අපි ඇස්‌ දෙක පියාගෙන සිටිනවා. බොහොම සෙමෙන් ඇවිදිනවා. සෙමෙන් කථා කරනවා. මෙවැනි අවස්‌ථාවකදී අපි අපිව ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරන්න ඕනේ. එවිටයි එවැනි ක්‍රියාවන් තුළ ගැබ්ව ඇති තෘෂ්ණාව මතුකොටගත හැක්‌කේ. 
ඔබ සිතන්න හරකෙක්‌ සිටිනවා. මේ සතා නිදැල්ලේ හැරියොත් එයා මොකද කරන්නේ? වටේම තියෙන කෙසෙල් පැළ, ගොයම් පැළ ටික කනවා. අපි එම සතාව මීටර දහයක කඹයකින් බඳිනවා. දැන් එම සතා කන්නේ මීටර දහයේ ප්‍රමාණයයි. මේ මීටර දහයේ කඹය අයින් කරලා, මීටර පහක්‌ දිග කඹයකින් බඳිනවා. දැන් එම සතා කන්නේ මීටර පහේ ප්‍රමාණය පමණයි. මීළඟට එම මීටර පහේ කඹයත් ඉවත් කරලා කණුවට බෙල්ල තියලා බඳිනවා. දැන් එම හරකට සෙලවෙන්නවත් බැහැ. කණුවට බෙල්ල තියලා බැඳලා තිබෙන්නේ. කණුවට බෙල්ල තියලා බැඳුනත් මේ හරකා වට පිටේ තිබෙන කෙසෙල් පැළ, ගොයම් පැළ දෙස බලමින් කෙළ ගිලිමිනුයි සිටින්නේ. කඹය කඩාගන්නේ කොහොමද කියලා සිතමිනුයි මේ සතා සිටින්නේ. මෙතැන තමයි සතිය කියලා කියන්නේ. නැවතිලා සිටියාට තෘෂ්ණාව ක්‍ෂය වෙලා නැහැ. 
සම්මා සතිය කියන්නේ එම සතා කණුවට බෙල්ල තියලා බැඳලා තමයි සිටින්නේ. නමුත් එම සතා වටේ පිටේ තිබෙන කෙසෙල් පැළ, ගොයම් පැළ දෙස බලමින් කෙළ ගිලින්නේ නැහැ. කඹය කඩාගැනීමට උත්සහ ගන්නේ නැහැ. මොකද එයා තෘෂ්ණාව හීන කරලයි තිබෙන්නේ. මේ තමයි, සතිය සහ සම්මා සතියේ ඇති වෙනස. එම නිසා අපි කරන සෑම ක්‍රියාවක්‌ තුළම තෘෂ්ණාව බැසගෙන තිබෙනවාද කියලා පරීක්‍ෂා කරන්න ඕනේ.

ඉදිරිපත් කිරීම 
ඉන්ද්‍රජිත් සුබසිංහ

කාරුණික දැනුම්දීමක්‌

මුළු මහත් සමාජයක්‌ ඒකාලෝක කරමින් 'මහ රහතුන් වැඩි මග ඔස්‌සේ' සදහම් සංග්‍රහය ඉදිරිපත් කරනු ලබන පින්වත් ස්‌වාමීන් වහන්සේ එම උතුම් කටයුත්ත සිදු කරනුයේ අප සැම කෙරෙහි පතල මහත් කරුණාවෙන්මය. කිසිදු ලාභ අපේක්‌ෂාවකින් තොරවමය. උන් වහන්සේ ලැබෙන ප්‍රශංසාවත්, සාධුකාරයත්, විවේචනයත් ධර්මයටම ගලපන සේක. එසේ පාරිශුද්ධව අප වෙත ලැබෙන මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ සදහම් ප්‍රවාහය දෙස්‌ විදෙස්‌ බොහෝ දෙනා හදවතින් වැළඳ ගෙන ඇති බැව් අප සියලු දෙනාම දනිමු.
එම ජනප්‍රියතාවයම හේතු කොට ගෙන ඒ මගින් අයථා ලෙස ආර්ථිකමය සහ අනෙකුත් වාසි ලැබීම් පිළිබඳ සිද්ධීන් වාර්තා විය.
මහරහතුන් වැඩි මග ඔස්‌සේ සදහම් මඟ අරමුණු කර හෝ ඒ සම්බන්ධ වෙනත් හේතු මුල් කර, කිසිම අයුරකින් මුදල් රැස්‌ කිරීමට හෝ වෙනත් වාසි ලබාගැනීමට කිසිවකුටත් අවසරයක්‌ හෝ අනුමැතියක්‌ ලබාදී නොමැති බැව් ඔබ වෙත සිහිපත් කරනුයේ ඉමහත් කරුණාවෙනි.
එවැනි මාර සිත් පහළ වන පිරිස්‌ එම හිතද අනිත්‍ය වශයෙන්ම දැක එයින් බැහැරවීමෙන් මෙම ආත්මයේ ලබන ඉතා ළාමක, සුළු ආර්ථිකමය වූ ලැබීම වෙනුවෙන් අති දීර්ඝ සංසාරයක්‌ පුරාවටම ලැබෙන්නා වූ ඉමහත් කටුක විපාකයන් වළක්‌වා ගත හැකි බැව් සිහිපත් කරනුයේ ඔවුන් කෙරෙහි ද ඉමහත් කරුණාවෙනි.
එවැනි පාපකාරි පිරිස්‌ වෙත යොමු නොවී, උතුම් සද්ධර්මය නිසාවෙන්ම ඔබ ලැබූ සුවය, සහනය සහ අවබෝධය කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව අවංකවම තවත් පිරිස්‌ වෙත බෙදා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. 

තෙරුවන් සරණයි !