සතර අපායෙන් මිදෙමු
120 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
වරක් භික්‍ෂුව එක් ආරණ්‍යයක වැඩසිටිනකොට එක් ස්‌වාමීන්වහන්සේ නමක් තම කුටිය ඉදිරිපිට සක්‌මන් මළුවේ සක්‌මන් කරමින් සිටියා. දෑස් බිමට යොමු කරමින්, බොහොම සෙමෙන් පියවර තබමින්.. දකින කෙනෙකුට ප්‍රිය උපදවන ආකාරයකටයි උන්වහන්සේ සක්‌මන් කරමින් සිටියේ. නමුත් ආරණ්‍යයේම අත්‍යවශ්‍ය කටයුත්තක් හේතුවෙන් ඒ බව දැනුම්දෙන්න මම උන්වහන්සේට කථා කළා. කථාකරපු මොහොතේම උන්වහන්සේ සක්‌මනෙන් මිදුනේ දැඩි ආවේගශීලීභාවයකින්. බොහොම ආවේගයෙන් 'මට බාධා කරන්න එපා' කියල අවවාද කළා. බලන්න සතිය තුළ බැසගෙන සිටින තෘෂ්ණාවේ තරම. සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ සතිය අපව මුලාවට පත්කරනවා. සම්මා සංකප්පයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක නොවන්නේ සම්මා දිට්‌ඨියේ දුර්වලතාවය හේතුවෙන්මයි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ අංග තුනක්‌ම ශීලයට අදාළව පනවනවා. ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා අපට ලැබෙන්නේ සුගතිය. සංසාරයක් පුරාවට සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා ඔබ සිල්සමාදන් වීමට පෙරවූ සුදු සිල්රෙදි ප්‍රමාණය එක ගොඩක් ගැසුවොත් එය ගි-ජකූඨ පර්වතයට වඩා විශාල යෑයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ තරමට සිල්රෙදි වලින් අතීතයේ මේ කය දවටලා තිබෙනවා. නමුත් ඒ සංස්‌කාරයෝ විපාක දීලා අනිත්‍යවී ගියා.
සිල් රැකීම නිසා අපට ලැබෙන ආනිසංශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපව සුගතියේ ඉපදෙනවා. සිහි මුලා නොවී මැරෙනවා. කීර්තිරාවය පැතිරෙනවා. ඕනෑම සභාවක් ඉදිරියට නොබියව යනවා. ඒ කියන්නේ ශීලයේ අර්ථය, භවයේ නැවත උපතක් කියන අර්ථයයි.
නමුත් අපි භව නිරෝධයයි සොයාගෙන යන්නේ. එහෙම නම් අපි ශීලය ආභරණයක් කරගෙන, ශීලය බරක් කොටගෙන වැඩක් නැහැ. ශීලයෙන් ලැබෙන ලෞකික සැපයන් අනිත්‍ය වශයෙන් විදර්ශනා නුවණින් දකින්න අවශ්‍යයි.
එක් තරුණ ස්‌වාමීන් වහන්සේ නමක් සිටියා, උන්වහන්සේ ශීලය මගේ කොටගත් කෙනෙක්. ශීලය විදර්ශනාව සඳහා නොව, උන්වහන්සේ ශීලය උපයෝගීකොටගත්තේ ආශ්වාදය උදෙසායි. උන්වහන්සේ දිනකට එක වේලයි වැළඳුවේ. නමුත් උන්වහන්සේ අප දින දෙකකට වළඳන ප්‍රමාණය එක වේලකට වළඳනවා. ඒ හේතුව නිසාම දානයෙන් පසුව දැඩිව කායිකව පීඩාවට පත්වෙනවා. උන්වහන්සේ පාන්දර පහට පෙර දානශාලාවට එනවා. උන්වහන්සේ උදේට දාන ශාලාවට වඩින්නේ අනික් ස්‌වාමීන්වහන්සේලා පාන්දර පහයි තිහට පෙර දානෙ වළඳනවද කියලා බලන්නයි. උන්වහන්සේ කප්පිය කුටියේ තිබෙන සීනි බෝතලයේ, කිරිපිටි බෝතලයේ පටන් සෑම ආහාර භාජනයකම කොළ කැබැල්ලක් අලවලයි තිබෙන්නේ. මේවා දවල් 12 න් පස්‌සේ කැපයි, මේවා දවල් 12 න් පස්‌සේ අකපැයි කියලා. ප්‍රාතිමෝක්‍ෂ ශීලය කෙරෙහි තෘෂ්ණාවෙන් උන්වහන්සේගේ ජීවිතය ශීලයට බැඳිලයි තිබුණේ. උන්වහන්සේ දැක්‌කේ නැහැ ආශ්වාදයක්‌ය මේ විඳින්නේ කියලා. අවසානයේ ඒ පිංවත් තරුණ ස්‌වාමීන්වහන්සේට ශීලය මහා බරක් වුණා. ශීලයේ ආශ්වාදය තුළම ජීවත්වීම නිසා විදර්ශනා නුවණක් සකස්‌වුණේ නැහැ. තමා විසින්ම බරක් කරගත් මේ ශීලයේ බර දරාගන්න බැරි තැන උන්වහන්සේ උතුම් උපසම්පදා ශීලයෙන් බැහැරවෙලා සාමනේර බවට පත්වුණා. සම්මා දිට්‌ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය නොවූ ශීලය, ආශ්වාදයේ ගොදුරක් බවටයි අපව පත්කරන්නේ.
(මෙම ලිපි මාලාව යටතේ පළවන මෙම ලිපිය, පැවිදි ජීවිතවලට උපකාරයක් වන ලෙසින් සටහනක් තබන ලෙස තවත් භික්ෂුවකගෙන් ලද ආරාධනයක් මත ලියෑවුණු දීර්ඝ ලිපියකින් කොටසකි. නමුත් ගිහි ජීවිතවලටද ඉන් ලබාගත හැකි හරයන් පිළිබඳව කරුණාවෙන් යුතුව මේ සටහන් තබන පිංවත් භික්ෂූන්වහන්සේ විසින් මෙය අප අතට පත් කරන ලදී.)
සතර අපායෙන් මිදෙමු
121 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
ශීලය යනු සමාධියට සේන්දුවීමේ මාර්ගය පමණි
භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උතුම් පැවිද්ද ලබන වෙලාවේ, ප්‍රාතිමෝක්‍ෂ ශීලය ගැන එක වචනයක්‌වත් කියවලා දැනගෙන හිටියේ නෑ. සතර පාරාජිකා, සංඝාධිශේෂ ආදිය දැනගෙන හිටියේ නැහැ. ධුතාංග ශීලය ගැන දැනගෙන සිටියේ නැහැ. පැවිදිභාවයට පත්වී වසරක් ගෙවුණු තැන මාගේ උතුම් උපසම්පදාවට මාස දෙකකට පෙරාතුවයි මම උතුම් භික්‍ෂු ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ ශිල්පද 227 ගැන දැනගත්තේ. භික්‍ෂුව මේ ප්‍රාතිමෝක්‍ෂ ශීලය හදාරල දැනගත්තට පස්‌සේ, ස්‌වයං ආවර්ජනයක් කර බැලුවා, භික්‍ෂුව ගෙවාගෙන පැමිණි සාමනේර කාලය පිළිබඳව. ප්‍රාතිමෝක්‍ෂ ශීලය නොදැන සිටි සාමනේර කාලය තුළ භික්‍ෂුව තුළින් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සියයට අනූවක්‌ම ආරක්‍ෂාවෙලා. පැවිදි ජීවිතය තුළ භික්‍ෂුව අනුගමනය කළ අතීත රහතන්වහන්සේලාගේ චර්යාවන්, එම උතුම් ඇවතුම් පැවතුම් තමයි, භික්‍ෂුවට නොදැනුවත්වම ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂාකොටගන්න භික්‍ෂුවට පාර පෙන්වූයේ.
භික්‍ෂුව සාමනේර අවධියේදී කවදාවත් කුටියක රාත්‍රියට ආලෝකයක් පත්තු කළේ නැහැ. පරිසරය අඳුරු වුණත්, භික්‍ෂුවගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගෙවුණු සිත ආලෝකමත්වයි තිබුණේ. එම නිසා භූමිතෙල්, පොල්තෙල් පිළිබඳ ප්‍රශ්න මතුවුණේ නැහැ. භික්‍ෂුව සාමනේර අවධියේදී කුටිවල සවසට ගිලන්පස සාදාගෙන වැළඳුවේ නැහැ. ඒ නිසා සීනි, තේ කුඩු ප්‍රශ්න මතුවුණේ නැහැ. සාමනේර අවධියේදී භික්‍ෂුව පැරසිටමෝල් පෙත්තක්‌වත් ළඟ තබා ගත්තේ නැහැ. පාවිච්චි කරන සබන් කෑල්ල ඉවර වුණොත් දායක මහත්තයෙක් සබන් කෑල්ලක් පූජා කරන තුරු කිසිවෙකුගෙන් ඉල්ලා සිටියේ නැහැ. මේ ස්‌වයං විනය භික්‍ෂුවට සාමනේර අවධියේදීත් උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂාකොටගෙන ජීවත්වෙන්න උපකාරී වුණා. ඒකයි භික්‍ෂුව කියන්නේ, සම්මා දිට්‌ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන් පෝෂණය වුණ සිත, ආයාසයකින් තොරවම ආර්යශීලයෙන් පෝෂණය කරනවා කියලා. ශීලය කියන්නේ සැහැල්ලුවක්. බරක් නොවෙයි. භික්‍ෂුව ඔබට මේ සටහන ලියන්නේ බොහොම සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව භික්‍ෂුවට ලැබෙන්නේ ආර්ය ශීලය තුළින්මයි. ශීලයේ සැහැල්ලුව තුළින්මයි සම්මා වායාමයන් හොඳින් වැඩෙන්නේ. සම්මා සතිය හොඳින් පෝෂණය වෙන්නේ.
ශීල, සමාධි, ප්‍රඥා කියන්නේ මාර්ගයක් මිස ඵලයක් නොවෙයි. අපි මාර්ගයයි, ඵලයක් කොට අල්ලගන්න හදන්නේ. මේ මාර්ගය තුළ ගමන් කරලයි අපි ඵලයන් සාක්‍ෂාත් කොටගන්නේ. එම නිසා ශීලය මගේකොටගැනීම සඳහා නොව, ශීලය සමාධියට සේන්දුවීමේ මාර්ගය වශයෙන් දකින්න. එම නිසා ශීලය තුළ ශක්‌තිමත්වෙමින්, එම ශීලයේ ආනිසංශ විදර්ශනා නුවනින් දකින්න දක්‍ෂවෙන්න. ශිලයේ ආනිසංශ හේතුවෙන් ඔබට නැවත සශ්‍රික දෙවියෙක් වේවා කියල චිත්තයක් ඇතිවුණොත්, ඔබ අතීත භවයන්හිදී සක්‍රයා වෙලා ඉඳලා නැවත සතර අපායට වැටුණු හැටි නුවනින් දකින්න. ඔබට නැවත සශ්‍රික මනුෂ්‍යයෙක් වේවා කියලා චිත්තයක් ඇතිවුණොත්, ඔබ අතීතයේ සක්‌විතිරජ වෙලා, රට සිටු ඇමැතිවරු වෙලා ඉඳලා නැවත සතර අපායට වැටුණු හැටි නුවනින් දකින්න. ශිල් ආරක්‍ෂා කරලා ඔබට නැවත බ්‍රහ්මයෙක් වේවා කියලා චිත්තයක් ඇතිවුණොත්, පිංවත් ඔබ අතීතයේ රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත්වී නැවත සතර අපායට වැටුණු හැටි නුවනින් දකින්න. ශීලය ඔබට අනතුරුදායක භවගමන විවරකොට පෙන්වන කැඩපතක් නොවේ. එම කැඩපත ඔබට විවරකොට ගත හැක්‌කේ, ශීලය ආර්ය ශීලයක් බවට පත්කොටගැනීමෙන්ය.
පිංවත් ඔබ උතුම් ගිහි පැවිදි ජීවිතවලදී ශීලයට මුල්තැන දෙනවා වගේම, ඔබ ආරක්‍ෂාකොටගන්නා ශීලය, ආර්යශීලයක් බවට පත්කොටගැනීමට දක්‍ෂවන්න. එවිට ඔබට ශීලය කෙරෙහි තිබෙන බර අතහැරෙනවා. ශීලය කෙරෙහි ඇති බර අතහැරෙන තැනයි ඔබට උතුම් සමාධියට අවශ්‍ය පසුබිම සකස්‌වෙන්නේ.
(මෙම ලිපි මාලාව යටතේ පළවන මෙම ලිපිය, පැවිදි ජීවිතවලට උපකාරයක්‌වී වන ලෙසින් සටහනක්‌වී තබන ලෙස තවත් භික්ෂුවකගෙන් ලද ආරාධනයක්‌වී මත ලියැවුණු දීර්ඝ ලිපියකින් කොටසකි. නමුත් ගිහි ජීවිතවලටද ඉන් ලබාගත හැකි හරයන් පිළිබඳව කරුණාවෙන් යුතුව මේ සටහන් තබන පිංවත් භික්ෂූන්වහන්සේ විසින් මෙය අප අතට පත් කරන ලදී)
මේවා ඇත්තේ විඳින්න, බැඳෙන්න නොව මිදෙන්නය...
සතර අපායෙන් මිදෙමු 122 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක් මුලයි ඉන්න ඕනේ කියලා.
මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක් තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළු\යි කියලා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක් අතීතයේ විමසුවා. එම ප්‍රශ්නය නම් 'භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට ශ්‍රාවකයන්, ගිහි දායක පිංවතුන් ගොඩක් පැහැදිලයි සිටින්නේ. මේ පැහැදීම ඇතිවෙන්න හේතූන් පහක් මම දකිනවා' කියලා සකුළුදායි තරුණයා එම හේතූන් පහ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. එම හේතූන් පහ තමයි, බුදුරජාණන් වහන්සේ අඩු ආහාරයකින් ජීවත්වීම, පාංශුකූල තුන් සිවුරුදැරීම, දුෂ්කර සෙනසුන්වල ජීවත්වීම, පිණ්‌ඩපාතයෙන් පමණක් යෑපීම, හුදෙකලා වනසෙනසුන්වල වැඩසිටීම.
සකුළුදායි එහෙම කියන විට බුදුරජාණන් වහන්සේ ඉහත කාරණා පහ ප්‍රතික්‍ෂේප කරනවා. 'සකුළුදායි ඔබ ඔය කියන කාරණා නිසා නොවේ දෙවි බඹුන් සහිත ලෝකයා මට ගරුකරන්නේ. මම සැමදාම අඩු ආහාරයකින් යෑපෙන්නේ නැහැ. සමහරක්‌දාට මම පාත්‍රයෙන් භාගයක් පමණ දන් වළඳනවා. මම පිණ්‌ඩපාතයෙන් පමණක් නොවෙයි යෑපෙන්නේ. සමහරදාට රජ, සිටු මැදුරුවලිනුත් දානය වළඳනවා. මම පාංශුකූල සිවුර පමණක් නොවෙයි දරන්නේ. පාංශුකූල නොවන සිවුරුත් දරනවා. මම වනසෙනසුන්වල විතරක් නොවෙයි ජීවත්වෙන්නේ. නාගරිකව ෙ-තවනාරාමය, පූර්වාරාමය වැනි ආරණ්‍යවලත් වැඩසිටිනවා. මම හුදකලා විවේකයෙන් පමණක් නොවෙයි වැඩ සිටින්නේ. ශ්‍රාවක ශ්‍රාවිකාවන්, උපාසක උපාසිකාවන් දහස් ගණන් සමග කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේට දෙවි බඹුන් සහිත ලෝකයා ගරුකරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශීලයට, ඥණදර්ශනයන්ට, අධිප්‍රඥාවට, සත්තිස් බෝධිපාක්‌ෂික ධර්මයන්ට. මේ කාරණා පහ නිසයි ලෝකයා බුදුරජාණන් වහන්සේට පහදින්නේ කියල බුදුරජාණ වහන්සේ සකුළුදායි තරුණයාට දේශනා කරනවා.
බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති ගරු කළයුතු ධර්මයන් වශයෙන් දේශනා කළේ ඉහත ධර්මයනුයි. එම නිසා අපි අපේ ජීවිත තුළින් මතුකරගත යුතු ගරු කළ යුතු ධර්මයන් නිවැරදිව තේරුම්ගන්න. අපේ උතුම් පැවිදි ජීවිත තුළින් අපි උත්සහගන්නේ 'මම එක වේලයි වළඳන්නේ, අඩුපිණ්‌ඩපාතයෙන් යෑපෙන්නේ, මම කැලයේමයි ජීවත්වෙන්නේ, හුදකලාවට පමණක් මයි ප්‍රියවෙන්නේ, පාංශුකූල චීවර පමණක්‌මයි දරන්නේ ' කියන චර්යාවන් තුළින් පමණක් සතුටුවෙන්න නම්, එම සතුට අපේ පැවිදි ජීවිතයේ උතුම්ම සතුට හැටියට දකිනවා නම් අපිත් සකුළුදායි තරුණයා කියන තැනයි සිටින්නේ. එම නිසා අන්තයන්ට නොගොස් මධ්‍යම ප්‍රතිපදාව තුළ අපේ පැවිදි ජීවිත හික්‌මවන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ. එහෙම වුණොත් පමණයි අපේ උතුම් ශාස්‌තෘන් වහන්සේ තුළ තිබු උතුම් ඥාණයන්ගේ අඩි පාරේ අපිට යන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ උතුම් පැවිදි ජීවිත තුළ අපි සතුටුවිය යුත්තේ 'මම එකවේලයි, මම පාංශුකූලිකයි, කැලයේ පමණක් ජීවත්වෙන්නේ.....' කියන කාරණ තුළ නොවෙයි. අපි සතුටුවිය යුත්තේ ඉහත කාරණා උපයෝගී කරගෙන සත්තිස්‌බෝධිපාක්‌ෂික ධර්මයන් අප තුළ වැඩෙනවා නම් පමණකි. ආර්ය ශීලය, ආර්ය සමාධිය අප තුළ වැඩෙනවා නම් පමණකි.
බුදුරජාණන් වහන්සේ සකුළුදායි තරුණයාට දෙන අවවාදය තුළ 'අතහැරීම කියන්නේ ආරණ්‍යය කුටිය අතහැරල ගසක් යට ජීවත්වීම' කියන අන්තය ප්‍රතික්‌ෂේප වෙනවා. අප අතහැරිය යුත්තේ ආරණ්‍යයවත්, කුටියවත් නොවේ. ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවයි. මම පාංශුකූල චීවරය දරන්නේ කියල ඔබ පාංශුකූල චීවරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැනද සකස්‌වෙන්නේ දුකමයි. මම කැලයේමයි ජීවත්වෙන්නේ කියලා කැලයේ හුදකලාවට ඔබ තෘෂ්ණාව ඇතිකරගතහොත් එතැන ද සකස්‌වෙන්නේ දුකමයි. පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයා අපි ධර්ම මාර්ගයේ තබන සෑම පියවරක්‌ම විඳීම කියන අපද්‍රව්‍යයෙන් අර්ථ විරහිත බවට පත්කර දමනවා. එමනිසා මෙම උතුම් නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී වනවාසී උතුම් හුදකලා ජීවිතයත්, එක වේලක් පිණ්‌ඩපාතයෙන් යෑපීමත්, පාංශුකූල චීවරයත් අත්‍යවශ්‍යම සාධක වෙනවා. මේවා අත්‍යවශ්‍යම සාධකයන් විඳීම කියන මාරධර්මයෙන් මුදවා ගැනීමට අපි දක්‍ෂ විය යුතුයි.
සතර අපායෙන් මිදෙමු
123 කොටස
මහරහතුන් වැඩි මග ඔස්‌සේ
ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා
භික්‍ෂුවට මතකයි සාමනේර අවධියේදී වරක් ගම්මානයට පිණ්‌ඩපාතය වැඩිය. එය දුෂ්කර ගම්මානයක්. බතුයි එළවළුයි පමණයි දානයට ලැබෙන්නේ. පැණි රසක් පලතුරක් ලැබුණේම නැහැ. එදා එක අම්මා කෙනෙක් පාත්‍රයට කේක් කැබැල්ලක් පුජාකළා. භික්‍ෂුව පාත්‍රය උරහිසේ එල්ලාගෙන කැලය මැදින් කුටියට වඩින විට එකපාරටම පාත්‍රයේ තිබෙන කේක් කැබැල්ල මතක්‌වෙලා කෙළ ගිළුණා. භික්‍ෂුව කැලයේ මැද නැවතුනා පාත්‍රය ඇරියා කේක් කැබැල්ල අරගෙන ඈතට විසිකළා. එහෙම කරල මගේ සිතටම තරවටුවක් සිදුකළා 'දැන් පුළුවන් නම් කේක් වළඳන්න' කියලා.
මාර ධර්ම සම්මා සංකප්පයන්ගෙන් සම්මා සතියෙන් පරද්දවන්න ඕනේ. අරමුණු අභිබවා සිතට යන්න දෙන්න නරකයි. කෙලෙස් සිත කියන්නේ නිවන් අරමුණට ප්‍රධානම හතුරාමයි. කේක් කැබැල්ල විසිකළාට පස්‌සේ මම මටම සිනාවෙලා කුටියට වැඩියා.
භික්‍ෂුව එක්‌තරා ආරණ්‍යයක වැඩසිටින විට එම ආරණ්‍යයට ආගන්තුක ස්‌වාමීන් වහන්සේනමක් වැඩියා. උන්වහන්සේට කැලයේ ඈත කුටියක් අවශ්‍ය යෑයි කීවා. එම නිසා ආරණ්‍යයේ ඈතම තිබෙන කුටිය උන්වහන්සේට ලැබුණා. භික්‍ෂුවත් උන්වහන්සේ සමග එම කුටියට වැඩියා කුටිය පවිත්‍ර කරලා දෙන්න. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටියේ තිබුණ සැතපෙන ඇඳ ගැලෙව්වා, මේසය, පුටුව කුටියෙන් ඉවත් කළා. කුටියේ තිබුණ ලන්තෑරුමත් කුටියෙන් ඉවත් කළා. දොරට දමන ඉබ්බත් කුටියෙන් ඉවත් කළා. දැන් කුටියේ තිබෙන්නේ පැදුරයි, කොට්‌ටයයි, ඉදලයි, කොස්‌සයි විතරයි. භික්‍ෂුවටත් සිද්ධ වුණා කුටියෙන් ඉවත් කළ භාණ්‌ඩ ඔසවාගෙන ආරණ්‍යයේ ගබඩා කාමරයට ගෙනැත් දමන්න.
අපි ඉදිරියේ කුටිය සම්පුර්ණයෙන්ම හිස් කරලා මොකක්‌ද මේ ස්‌වාමීන් වහන්සේ අපිට පෙන්නන්න හදන්නේ. 'මගේ අතහැරීම, මගේ ශීලය........' උන්වහන්සේගේ අතහැරීමේ තරම පෙන්වන්නයි උන්වවහන්සේ කුටිය මේ තරමට හිස්‌කළේ. බලන්න මොනතරම් දුර්වල ක්‍රියාවක් ද. තෘෂ්ණාව තිබෙන්නේ සැතපෙන ඇඳේවත්, මේසයේ, පුටුවේ, ලැන්තෑරුමේවත් නොවේ. ඒවා කෙරෙහි තමන් ඇතිකරගන්නා විඳීම තුළයි. මේ ආගන්තුක ස්‌වාමීන් වහන්සේ කුටිය මේ විදියට හිස්‌කරන විට උන්වහන්සේ තුළ මොනතරම් තෘෂ්ණාවක් බැසගෙන තිබෙනවාද කියන කාරණය භික්‍ෂුව දැක්‌කා.
සති දෙකකට පස්‌සේ උන්වහන්සේ එම කුටිය හැරගියා. විඳීම කියන මාරධර්මය අපිව ආරණ්‍යයෙන් ආරණ්‍යයට, කුටියෙන් කුටියට ප්‍රදර්ශන භාණ්‌ඩ බවට පත්කරමින් ඇවිද්දවනවා.
භික්‍ෂුවට මතකයි භික්‍ෂුවගේ පැවිදි ජීවිතයේ තීරණාත්මක කාලය ගතකරපු කුටිය. එය ගල් කුටියක්. ඉදිරිපස බිත්තිය මැටියෙන් කපරාදුකර සුදුහුණුගාල තිබුණා. දීර්ඝ කාලයක් මේ කුටියේ ස්‌වාමීන් වහන්සේනමක් වැඩ ඉඳල නැහැ. දසසිල් සමාදන් වෙච්ච වයෝවෘද්ධ උපාසක සීයා කෙනෙක් මෙම කුටියේ ටික දිනක් නැවතී භාවනා කරල තිබෙනවා. භික්‍ෂුව මේ කුටියේ මාස දෙකහමාරක් ගතකළා. සාමනේර අවධියේ භික්‍ෂුව මේ කුටියට වඩිනවිට කුටිය පාළුවට ගිහිල්ලයි තිබුණේ. කුටියේ ඇඳක් තිබුණේ නැහැ. මේසයක් තිබුණා. පුටුවක් තිබුණේ නැහැ. පැදුරක්, කොට්‌ටයක්, ලැන්තෑරුමක් තිබුණා. ප්ලාස්‌ටික් බාල්දියක් තිබුණා. එපමණයි කුටියේ තිබුණේ. භික්‍ෂුව මේසය, ලන්තෑරුම පරිහරණය කළේ නැහැ. නමුත් ඒවා කුටියෙන් ඉවත් කිරීමට ගියේ නැහැ. ඒවා ඒවායේ ස්‌වභාවයෙන් තිබුණා. භික්‍ෂුව භික්‍ෂුවගේ ස්‌වභාවයෙන් සිටියා.
මේ කුටියට වැසිකිළියක් තිබුණේ නැහැ. වැසිකිළිය හැටියට පාවිච්චි කළේ පැරණි වළක්. ළඟපාත වතුර පහසුකම් තිබුණේ නැහැ. කිලෝ මීටර් කාලක් පමණ කුටියට පහළින් කැලය තුළ ලොකු ගල් වළක් තිබුණා. සවස අව්ව බැස ගියාම ගල් ළිඳට ගිහිල්ලා, පැන් පහසුවෙලා, ප්ලාස්‌ටික් බාල්දියට වතුර එකක් අරගෙන එනවා. එම වතුර බාල්දියෙන් තමයි උදේම වැසිකිළියට යන්නෙත් මුහුණ සෝදාගන්නෙත්. දත් මැදල මුහුණ පමණක් සෝදාගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනවා. වතුර බාල්දියෙන් යෑපුනත් පිරිසිදුකම හොඳින් තිබුණා. බීමට වතුර ගන්න කුටියට උඩපැත්තෙන් කිලෝ මීටර් කාලක් පමණ එහායින් නළ ළිඳක් තිබුණා. ලීටර් පහේ සුදු කෑන් එකකට බීමට වතුර එකක් අරගෙන එනවා පිණ්‌ඩපාතයෙන් පස්‌සේ.
භික්‍ෂුව මේ කුටියේ සිටිය මාස දෙකහමාරක කාලය තුළ කිසිම ගිහි පිංවතෙක් මේ කුටියට ඇවිල්ල නැහැ. භික්‍ෂුවට මේ ජීවිතයේ කිසිම දුෂ්කරභාවයක් දැනුණේ නැහැ. ඒ දිනවල භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ඒම සඳහා කිලෝ මීටර් හයක් පමණ ගම්මානයට ඇවිද්දා. අඩු ආහාරයක් ලැබුණේ. ඒ නිසාම භික්‍ෂුව හුඟාක්‌ම කෘශවෙලා සිටියේ. නමුත් බලෙන් ශරීරයට දුක් දුන්නේ නැහැ. ශරීරයට කිසිදු ඇල්මක් තිබුණේ නැහැ. මරණය බලාපොරොත්තුවෙන් ධර්මය තුළ භික්‍ෂුව සිටියා. මරණයට අබමල් රේණුවක තරම්වත් බියක් දැනුණේ නැහැ. භික්‍ෂුවට ඒ වෙනකොට දැනිලයි තිබුණේ ජීවිතයට ආශාව තිබෙන තාක්‌කාල් ධර්මාවබෝධය ලබන්න බැහැ කියල. භික්‍ෂුව තුළ ලොකු විශ්වාසයක් තිබුණා මැරෙන මොහොතේ හෝ ධර්මය සාක්‌ෂාත් කරන බව.
දවසක් භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට ගමට ඇතුල්වෙන තැනම එක ගෙදරක මිදුලේ ගසක් යට පැදුරක එලලා තිබුණා. එය භික්‍ෂුවට නුහුරු දර්ශනයක්. එදා පිණ්‌ඩපාතයට ඒ ගෙදර අයිතිව තිබුණේ නැහැ. එම ගෙදර නිවැසියන් වැට අද්දරට පැමිණ භික්‍ෂුවට ආරාධනා කළා. ගස යට එලා ඇති ආසනයේ වැඩසිටින්න කියලා. භික්‍ෂුව ආසනයේ වැඩ සිටියා. එම නිවසේ මෑණියන් දෙපළක් ලොකු කුරක්‌කන් කැඳ කෝප්පයක් භික්‍ෂුවට පූජා කළා. දින කිහිපයකින්ම භික්‍ෂුව වැළදූ එකම එක ගිලන්පස කෝප්පය මෙයයි. එම කුරක්‌කන් කැඳ කෝප්පය භික්‍ෂුවගේ ශරීරයට හොඳ ශක්‌තියක් ඇති කළා. ඒ අම්මා ප්‍රකාශ කළා 'හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඊයේ පිණ්‌ඩපාතය කරගෙන මෙතනින් ආරණ්‍යයට වඩිනකොට ඔබ වහන්සේ බොහෝම විඩාවෙන් වෙහෙසෙන් ගමන් කළේ. අපි හිතුවා ඔබ වහන්සේට ක්‌ලාන්තය හැදෙයි කියලා. ඒ නිසාමයි ඔබ වහන්සේට මේ කැඳ දානය පූජා කළේa' කියලා. මරණයට දමපු ජීවිතයක අවසන් හෝරා කිහිපයයි භික්‍ෂුව ඒ ගත කරමින් සිටියේ. නමුත් ලෝකයා දැනගෙන සිටියේ නැහැ. ලෝකයාට කොතැනකදිවත් දැනගන්න තිබ්බෙත් නැහැ. මාරයාගෙන් මිදෙන්න යන ගමනේදී ලෝකයාවත් මාරයා හැටියටමයි දැක්‌කේ. කොටින්ම ලෝකයා ගැන සිතුණේ නැහැ. මේ මොහොත වෙනවිට එක වේලෙන් යෑපීම, පාංශුකූල චීවර දැරීම, වනවාසී ජීවිතය කියන අර්ථයන් භික්‍ෂුව තුළින් නිෂේධ වෙලයි තිබුණේ. විළි වසා ගැනීමේ අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ පමණයි චීවරය තුළින් දැක්‌කේ. නිවන් අරමුණ වැඩීමට පණ කෙන්ද රැකීම කියන අරමුණ පමණයි පිණ්‌ඩපාතයේ අර්ථය හැටියට දැක්‌කේ. වැස්‌සෙන් පින්නේන් ආරක්‍ෂාවීම කියන අර්ථය පමණයි කුටිය තුළින් දැක්‌කේ. පාංශුකූල චීවරය, එක වේලක් යෑපීම, කැලයේ ජීවත්වීම කියන අර්ථයන් උපකාරක ධර්මයන් බවට පත්කොටගෙන භික්‍ෂුව තුළ සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයනුයි දැන් වැඩෙන්නේ. දැන් පිංවත් ඔබට හොදින් වැටහෙනවා ඇති (ඉකුත් සතියේ සටහනේ සඳහන් වූ පරිදි) ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සකුළුදායි කියන තරුණයාට දේශනා කරන ධර්මයේ සැබෑම අර්ථය අත්දැකීම් තුළින්මයි පිංවත් ඔබට මේ සටහන් තබන්නේ.
ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com